ISIS ත්‍රස්තයින් යළි ලංකාවට?

මෙරට ජනතාව ISIS ත්‍රස්තයින් පිලිබඳ දිවා රෑ නොබලා කථා කරන්නට ගත්තේ 2019 වසරේ අප්‍රේල් 21 දායින් පසුවය. ඒ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟිනි.

ඊට පෙර මේ රටේ ජනතාව දැන සිටියේ ඊළාම් ත්‍රස්තවාදින් ගැනය. ISIS ගැන ලෝකයේ අනෙක් රටවල් වල පැවති බව අසා තිබුණද ලංකාවට එවැනි තර්ජනයක්, අවදානමක් මතු වේයැයි මේ රටේ කිසිවෙකු බලාපොරොත්තු වුයේ නැත. එවන් බලාපොරොත්තු නොවු මොහොතක ISIS ත්‍රස්තයින් විසින් මෙරටට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ නිසා අපට ජිවිත සිය ගණනක් එකවර අහිමි විය. තවත් බොහෝ දෙනා තුවාල ලැබුහ. මේ අමිහිරි සිද්ධියෙන් පසු රටේ කොතැනත් කථා වුයේ ISIS ත්‍රස්තයින් ගැනය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැනය. ඔවුන් මෙරට පුහුණුව ලැබු හැ‌ටිය.

අවසානයේ මේ නිසා පොලිස්පති පුජිත ජයසුන්දරට, ඒවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ගෙදර යාමට පවා සිදු වුයේ ජාතික ආරක්ෂාව බරපතල අවදානමකට ලක් කළ බවට චෝදනා ලබමිනි. එමෙන්ම මේ සිදු වීම නිසා රජය බරපතල ලෙස අප්‍රසාදයටද ලක් විය. එය ඊළඟ මැතිවරණයේදි ආණ්ඩු පෙරලිමට සමත් විය.

නව ආණ්ඩුව පත් විමෙන් පසු ජාතික ආරක්ෂාව තහවුරු කරමින් කියා සිටියේ මින් ඉදිරියට එවැනි ත්‍රස්වාදින්ට මෙරටට ඇතුලු විමට නොහැකි බවත් කිසිදු ත්‍රස්තවාදියෙකුට යළි හිස එසවිමට ඉඩ ලබා දෙන්නේ නැති බවත්ය.

මේ වන විට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට පාස්කු විමර්ශන කොමිෂන් සභාවක්ද පත්ව ඇත.

මේ අතර යළිත් මේ ISIS ත්‍රස්තයින් සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇති වි ඇත. ඒ එංගලන්තයේ THE SUN නම් මාධ්‍ය ජාලය විසින් ISIS ත්‍රස්තයින්ගේ ත්‍රස්ත ක්‍රියා හා යළි ඔවුන්ගේ පැමිණීම් සටහන් වන රටවල් සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ නමද ඇතුලත් කර ඇති නිසාය. එම පුවතට අනුව රටවල්  24ට ආසන්න සංඛ්‍යාවක නම් කරමින් වාර්තාවක් සකස් කරමින් කියා ඇත්තේ   ශ්‍රී ලංකාවට ද එලෙස ISIS ත්‍රස්තයින් නැවත පැමිණෙමින් සිටින බවය. මන්ද තවදුරටත් සිරියාව හා ඉරාකයේ  සිය ආධිපත්‍ය ගිලිහි ගොස් ඇති නිසා මේ පැමිණිම සිදුවන බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුදහමුදාපති ලුතිනන්  ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ISIS ත්‍රස්තයින්ගේ යළී පැමිණීම සම්බන්ධව එංගලන්ත මාධ්‍ය වාර්තාව ප්‍රතික්ෂේප  කරන බවය.

එම මාධ්‍ය වාර්තා වන පරිදි ISIS ත්‍රස්තයින් හට මෙරටට ඇතුළු වීමට කිසිසේත් ඉඩකඩ නොමැති බව ඔහු අවධාරණය කර සිටියි.

-ශානිකා-

Social Sharing
නවතම