රජයේ කාර්යාල විවෘත කිරීම විහිළුවක්ද?

කොවිඩ් 19 වෛරස් තත්වය උත්සන්න වී තිබුණද ආණ්ඩුව මේ වන විට ‍රට විවෘත කිරිමට පියවර ගෙන තිබේ. ඒ දැඩි සංචරණ සීමා හා තෝරා ගත් ප්‍රදේශ හුදකාලා කිරීමකට යටත්වය. අසීමිත ලෙස වසා ගෙන මහජනයාගේ හා රාජ්‍යයේ දෛනික ආර්ථික කටයුතු අඩපණ කරමින් රටක් පවත්වාගෙන යා නොහැක. මේ මොහොත වන විට රටක් යනු ආර්ථික ඒකකයක් විනා වෙන යමක් නොවේ. ආර්ථිකයේ පැවැත්ම අහිමි වී ගිය විට රාජ්‍යයේ පැවැත්ම අහෝසි වීම නොවැළැක්විය හැක.

රජය විසින් කොවිඩ් 19 මර්දනය මිලිටරිය මූලික කරගත් ක්‍රමවේදයකට නතු කිරීමෙන් ප්‍රශ්නය නොසිතූ ඉසව්වකට ඇදී ගියද, රජයේ ඇතැම් පරස්පර වැඩසටහන් තිබුණද එකී ක්‍රියාවලීන් විවේචනය කිරීමට යටත්ව රජයට සහය දී කොවිඩ් අභියෝගය ජය ගැනීම පුරවැසියාගේ වගකීමක් බව අපගේ අදහසයි. විවේචනය පවා ඇතැම් විට සහයෝගයක් විය හැක. රජයද එය වටහා ගත යුතුය.

රජය රට විවෘත කරන්නේ සමාජ මාධ්‍යයේ සංසරණය වන පරිදි රාජපක්ෂ පවුලේ උත්සව සදහා නොව ඇත්ත වශයෙන්ම ලංකාව මේ මොහොත වන විට සිටින්නේ ආර්ථික වශයෙන් දරුණු අවධියක බැවිනි. ලෝකයේ දියුණු රටවල් පවා රට නොවසා කොවිඩ් වසංගතයට මුහුණ දෙන තත්වයක් තුළ ලංකාව ගැන කවර කතාද?

ආණ්ඩුව රට විවෘත කිරීමේ තීරණයක් ගෙන ඇත්නම් එය විකාරයක් නොවී නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුය. මේ වන විට පෞද්ගලික අංශය එ සඳහා විවිධාකාරයෙන් සූදානම් වී ඇත. අවම සේවක සංඛ්‍යාවක් සේවා ස්ථානයට රැගෙන ඒම හා අනෙකුත් සේවකයන් නිසි ක්‍රමවේදයක් යටතේ නිවසේ සිට වැඩ කරන ක්‍රමවේදයකට අනුගත කිරීම ඔවුන් විසින් මේ වන විටත් සිදු කර අවසන්. උදාහරණයක් ලෙස මේ වන විට වසා දමා ඇති හොරණ ගුරුගොඩ පිහිටි මාස් සමූහයට අයත් බොඩිලයින් ඇගළුම් කම්හලේ පවා සේවකයන් නිවසේ සිට වැඩ කරන ක්‍රමයක් පවත්වාගෙන යයි. රටක් අභියෝගයකට මුහුණ දිය යුත්තේ ඒ අයුරිනි.

රජයේ හා පෞද්ගලික බැංකුද මේ වන විට සිය නිසි රාජකාරී වේලාව තුළම රාජකාරී කටයුතු කරයි. මහජන සෙවය සපයයි. මීටරයේ දුරස්ථබාවය පවත්වා ගත යුතු බැවින් සැලකිය යුතු කාලයක් ගත වුවද මහජන සේවය සැපයීම අඛණ්ඩව සිදු වෙයි.

මේ අතර බොහොමයක් මහජන සේවා සපයන රාජ්‍ය ආයතන මේ රට විවෘත කිරීමේ රජයේ අරමුණට පිටින් කටයුතු කරන බව පෙනේ. විශේෂයෙන් මහජන සේවය නිසි ආකාරයට නොදෙන මහජනයා බරපතළ ලෙස පීඩාවට පත් කිරීමක් බොහෝ රාජ්‍ය ආයතන විසින් සිදු කරනු දැකිය හැකිය.

මෙයට හේතුව වී ඇත්‍තෙ රජය විසින් සිය කාර්යාලය පවත්වා ගෙන යාමේ ක්‍රමය තීරණය කිරීමේ වගකීම ඒ ඒ ආයතනයන්හි ආයතන ප්‍රධානීන්ට පවරා දීමයි. රට විවෘත කිරීමේ එක් අරමුණක් නම් ආණ්ඩුවේ ආදායම පවත්වා ගෙන යාමය. රජයේ නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ රජයේ ආදායමිනි.

දැන් මේ වන විට වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් නොකරයි. නමුත් සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල විවෘතය. එකී අංශයෙ සේවකයන් වැඩය. මෙහි පදනම කුමක්ද? කිසිදු පදනමක් නැත. මුදල් ලබා ගැනීම සිදු කරන සේවකයා නිසි පරිදි ආරක්ෂා කර ගැනීම පමණක් සිදු කිරීම මෙහිදී ප්‍රමාණවත්ය. මේ එක් උදාහරණයකි. ඇතැම් කාර්යාල විවෘත කර තිබෙන්නේ පැය දෙකක් පමණි. ඇතැම් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල විවෘත වන්නේ පැය දෙකකි. මේ හේතුව නිසාම මහා සෙනගක් ඒ පැය දෙක තුළ වැඩ කටයුතු සිදු කර ගැනීමට කාර්යාලය වෙත පැමිණෙයි. සිදු වන්නේ කොරෝනාවෙන් බේරීමට අවශ්‍ය දේ නිර්මාණය වීම නොව කොරෝනාව කැඳවා ගැනීමයි.

ඇතැම් කාර්යාලයන්හි මුදල් ගෙවීමට නැවත බැංකුව වෙත යා යුතුය. මුදල් කවුළු වසා ඇත. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එවන් එක් ආයතනයකට උදාහරණයකි. බැංකුවේ සෙනග ගොඩක් මැද සිට නැවත රජයේ ආයතනයට පැමිණෙන සේවකයා එන්නේ කොරෝනා සමග විය හැක.

ඉඩම් ඔප්පු සඳහා ආදායම් මතය ලබා ගන්නා පළාත් ආදායම් කාර්යාල විවෘත කර ඇත. මහජනයාට අවෘතය. නිසි තක්සේරුවට මුද්දර ගාස්තු එකතු කර ගැනීමට පිහිටුවා ඇති කාර්යාලයේ තත්වය එසේය. ඇතැම් ඉඩම් කාර්යාලවල සෙවීම් කටයුතු සඳහා විකාර සහගත සීමාය. දූෂිතයන්ගේ කල්ල මරේය.

ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව විවෘතය. මහජනයාට එක් දින සේවය නැත. රජයට ආදායම්ද නැත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විවෘතය. එක් දින සේවා නැත. ඉඩම් කාර්යාල හා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ අනෙක් කාර්යාල වලද තත්වය එසේය.

රජයට දිනපතා ආදායම් ලැබෙන ක්ෂේත්‍ර නිසි පරිදි විවෘත වීමක් සිදු නොවීම රට විවෘත කිරීමේ රජයේ බලාපොරොත්තු සුන් කරවන්නකි. රජයේ නිලධාරීන්ගෙ නීති සැකසී ඇත්තේ තමන් පමණක් බේරී තමන්ගෙන් සේවය ලබා ගැනීමට එන සේවකයාට කොවිඩ් හදවන්නද?

මේ නීතින් හි විහිළුකාරී බව දැනෙන්නෙ ආයතනය ඇතුළට ගිය ගමන් මහජනයාගෙන් අසීමිත අරක්ෂාවක් පතන මේ රජයේ සේවකයා එළවළු වෙළද සැලේ බඩු ගන්නා හැටි දකින විටය. සුපිරි වෙළඳ සැලේ මුදල් කවුළුවේ සේවකයන් දෙස උපහාසයෙන් බලා මුදල් ගෙවන හැටි දකින විටය. බස් රියේ දුම්රියේ ගමන් කරන හැටි දකින විටය.

-දුලාන් දසනායක-

Social Sharing
නවතම