දේශපාලඥයිනි මේ අහන්න, දුම්බීමෙන් වසරකට ශ්‍රී ලාංකිකයින් 20,000 ක් මරුට

2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඇත්තේය. එහිදී එය දින 19 ක් පුරා විවාදයට ගැනිමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. අයවැය විවාදයේදී පාර්ලිමේන්තුව දිනපතා පෙරවරු 9.30ට රැස්වීම් ආරම්භ කර සවස 5.30 දක්වා පැවැත්වේ. නොවැම්බර් 18 වන දා සිට 20 දක්වා පෙරවරු 9.30 සිට 10.30 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම පවැත්වෙන අතර නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 වනදා දක්වා පෙරවරු 9.30 සිට 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික  ප්‍රශ්න විමසීමේ අවස්ථාව ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

මෙවර 2021 අයවැයේදීවත් රටට හිතවත් දුම්කොළ බදු ප්‍රතිපත්තියක් ගෙන ඒමට දේශපාලඥයින්ගේ අවධානය යොමු කිරීමට ඇඩික් ආයතනය (ADIC Sri Lanka) ක්‍රියා කර ඇත.

ඒ අනුව ඔවුන් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දුම්බීම දෛනිකව ශ්‍රී ලාංකිකයින් 55ක් අකල් මරණයට පත් කරන අතර,  වසරකට ශ්‍රී ලාංකිකයන් 20,000කගේ වටිනා ජීවිත අකල් මරණවලට ගොදුරු කරන බවයි.

ශ්‍රී ලංකාවේ දුම්කොළ සඳහා ආර්ථිකය පිරිවැය (සෞඛ්‍ය පිරිවැය, ඵලදායිතාව අහිමි වීම සහ අකල් මරණ) රු. බිලියන 214 ක් වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගණනය කර ඇති අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.6% කි. මීට අමතරව, මිනිසුන් සිගරට් සඳහා දිනකට රු.මිලියන 400 ක් වැය කරන අතර, එය වාර්ෂිකව රුපියල් බිලියන 145 ඉක්මවන බවද ඇඩික් ආයතනය පවසයි.

ශ්‍රි ලංකාවේ දුම්වැටි නිෂ්පාදනයේ සහ අලෙවිකරණයේ ඒකාධිකාරය ලංකා දුම්කොළ සමාගමයි (CTC) දරන අතර  එහි කොටස් අයිතියෙන් 84.13% ක බහුතර කොටස් ප්‍රමාණය බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) සතුවේ. මෙම සමාගමේ ලාභයෙන් බහුතර කොටසක්  බ්‍රිතාන්‍යයට සහ ඇමරිකාවට ඇදීයන බව පෙන්වා දෙන මෛ නිවේදනයෙන් කියා සිටින්නේ නිශ්චිත ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ විට දුම්වැටි පරිභෝජනය සහ එයින් සිදුවන හානිය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බවය.

නමුත් සිදුකළ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාව තවමත් ඵලදායි දුම්වැටි බදුකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර නොමැති බවය.  රජයේ භාණ්ඩාගාරයට වසරකට   අය කර ගත හැකි රුපියල් බිලියන ගණනක් පසුගිය දශක දෙක තුළ එකතු කර ගැනීමට නොහැකි වී ඇතැයිද ඊට හේතු වන්නේ  දුම්කොළ සමාගමේ ලාභය ඉහල ගිය ද ඊට සාපේක්ෂව රජයේ ආදායම වැඩි නොවීම බව ඇඩික් ආයතනය පවසයි.

එමෙන්ම මෙම අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිගරට් මිලදි ගැනීමේ හැකියාව වසර ගණනාවක් තිස්සේ ඉහළ ගොස් ඇති බවය. මෙයින් අදහස් කරන්නේ අනෙකුත් නිෂ්පාදන හා සසඳන විට සිගරට් මිල, ආදායම හා උද්ධමනය සමඟ සසඳන විට සිගරට් සාපේක්ෂව මිල අඩු භාණ්ඩයක් බවට පත්වී ඇති බවත්, ආර්ථික විශ්ලේෂණකයන් පෙන්වා දෙන්නේ අද පවතින උද්ධමනයට සාපේක්ෂව සිගරට් මිල සැලකිය යුතු ලෙස වැඩි කළ යුතු බවද මෙම නිවේදනයෙන් කියා ඇත.

රජය විසින් දුම්කොළ බදු වැඩි කරන සෑමවිටකම දුම්කොළ සමාගම ද මිලක් එකතු කර වෙළදපොලේ මිල තීරණය කරනු ලබන අතර මෙසේ සිදු කිරීමට සමාගමට ඉඩ ලැබෙන්නේ නිවැරදි ලෙස බදු වැඩි කිරීම රජය විසින් සිදු නොකරන බැවින් හෙයින්  රජය විසින් උද්ධමනයට හා මිලදී ගැනීමේ හැකියාවට සාපේක්ෂව නිවැරදි ලෙස බදු පනවන්නේ නම් සහ වෙළදපොල මිල තීරණය කරන්නේ නම් මෙසේ විදේශීය සමාගමකට රටේ මුදල් පිටතට ඇද ගැනීමට නොහැකි වනු ඇතැයිද ඇඩික් සමාගම පෙන්වා දෙයි.

ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (Institute of Policy Studies -IPS) විසින් මේ වසරේ සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි  වි ඇත්තේ ඵලදායී බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් 2018 දුම්කොළ බදු ආදායම රුපියල් බිලියන 95 සිට 2023 වන විට රුපියල් බිලියන 132 දක්වා ඉහළ යනු ඇති බවත්,  සිගරට් පරිභෝජනය 2023 වන විට සිගරට් බිලියන 3 සිට බිලියන 2 දක්වා අඩු කළ හැකි බවත්,  2023 වන විට දුම්බීමේ ව්‍යාප්තිය (අවුරුදු 15ට වැඩි) 12.5% දක්වා අඩු වන බවත්,  අනාගතයේදී, අකල් මරණ සංඛ්‍යාව 141,000 පමණ අඩු කර ගත හැකි බවත්ය.

දුම්කොළ බදුකරණය නිලධාරීන් කිහිප දෙනෙකුට තීරණය කිරීමට ඉඩ දීම මෙතෙක් සිදු වු විශාලතම දෝෂය  බව පවසන ඇඩික් ආයතනය කියා සිටින්නේ එය රජයට ලැබෙන රුපියල් බිලියන ගණනක ආදායම සහ ජීවිත දස දහස් ගණනක ඉරණම වැරදි ලෙස තීරණය කිරිමක් බවය.

ඒ අනුව ලංකාවේ වහාම නිවැරදි දත්ත මත පදනම්ව සිගරට්වල බදු සහ මිල තීරණය කිරීම,  උද්ධමනය හා ආදායමට සාපේක්ෂව දුම්කොළ බද්ද ක්‍රමානුකූලව හා නිතිපතා වැඩි කිරීම හා එක් එක් සිගරට්ටුවක්  සඳහා විවිධ බදු ප්‍රමාණ අය නොකර සෑම සිගරට්ටුවක් සඳහා  එකම අකාරයේ බදු ක්‍රමයක් හදුන්වා දීම සුදුසු බවත්  දුම්කොළ සමාගම් සහ එහි ඒජන්තයන්ගේ බලපෑමට ලක් නොවී, දුම්කොළ පාලනයේ මෙම අත්‍යවශ්‍ය ගැටළුව විසඳීම සඳහා, පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියළු මහජන නියෝජිතයින් මෙවර අයවැයේදී වත් අව්‍යාජව කටයුතු කරනු ඇතිද යන්න මහජනතාව බලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

-ශානිකා-

Social Sharing
නවතම