“අධිකරණ ඇමති තනතුරෙන් ඉවත් කරන්න” ජනපතිට ලිපියක්!

රටේ ජනතාවට පොදු නීති පද්ධතියක් ලබා දෙනවා වෙනුවට තමන් නියෝජනය කරන ජාතියට විශේෂ වරප්‍රසාද ලබා දෙන අලි සබ්‍රි මහතා වහාම අධිකරණ අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කළ යුතු බව මහජන යුතුකම් කේනද්‍රයේ සභාපති පුජ්‍ය ජබුරේවල චන්ද්‍රරතන හිමියන් පවසයි.

මහජන යුතුකම් කේනද්‍රයේ සභාපති පුජ්‍ය ජබුරේවල චන්ද්‍රරතන හිමි  ඇතුලු පිරිසක් විසින් කොවිඩ් 19 වැලඳී මිය යන ඕනෑම ජාතියක, ආගමක  පුද්ගලයෙකු විශේෂ වරප්‍රසාද වලට යටත් නොවී ආදාහනය කළ යුතුයි කියන කරුණ සම්බන්ධයෙන් අද (11) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් භාර දී ඇත. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ පුජ්‍ය ජබුරේවෙල චන්ද්‍රරතන හිමියන් මෙසේද පැවසුවේය.

ආගමික මුලධර්මවාදය  යනු ඒ ඒ ආගම් වල මුල් කාලයේ සිටම පවත්වාගෙන ආ සිරිත් විරිත් හා සම්ප්‍රද්‍රායන් කුමන තත්ත්වයක් යටතේ වුවත් වෙනස් නොකර ඉදිරියට පවත්වාගෙන යාමත්, මේ කොවිඩ් 19 වැලඳී මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකර භූමිදානය කළ යුතුයි කියන සෑම කෙනෙක්ම ආගමික අන්තවාදියෙක් ලෙස සැලකිය හැකි බවය.

මුලු රටම වසංගතයකින් පීඩා විදින අවස්ථාවක වෛද්‍ය විද්‍යාවට, විද්‍යාත්මක කරුණු වලට ඉඩක් නොදි තමන්ගේ ආගමික සම්ප්‍රදායේ සිරිත් විරිත් ආරක්ෂා කර ගැනීමට උත්සහ ගන්නේ නම් ඔවුන් මුලධර්වාදීන් බව ද උන් වහන්සේ පවසයි.

යම් ආකාරයකින් ජනාධිපතිවරයා මේ මුස්ලිම් දේහයන් භූමිදානය කිරීමට අවසර ලබා දෙන්නේ නම් ඒ සාම්ප්‍රදායික මුස්ලිම් සිරිත් විරිත් වලට කන් දිමක් නොව අන්තවාදීන්ගේ හඬට කන්දිමක් ලෙස සලකන බවද මෙයට තමන් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරන බවද  පුජ්‍ය ජබුරේවෙල චන්ද්‍රරතන හිමියන් කියයි.

අනාදිමත් කාලයක සිට පැවතගෙන ආ ඇසල පෙරහැර, භික්ෂුන් වහන්සේලාගේ උපසම්පදා විනයකර්මය, වෙසෙක් – පොසොන් උත්සව හා කඨින පිංකම්  ඇතුලු පොහෝ දින උත්සව බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා විසින් කොවිඩ් 19 සැලකිල්ලට ගෙන පාලනය කළා මෙන්ම ඇතැම් උත්සව නොපැවැත් වු බවද උන් වහන්සේ පෙන්වා දෙයි. එමෙන්ම කතෝලික සමාජයත්, දෙමළ සමාජයත් එය එසේ සිදු කළ බවත්, නමුත් මුස්ලිම් ජනතාව මේ අවස්ථාවේ ඔවුන්ගේ සිරිත් විරිත් ඉදිරියට පවත්වාගෙන යා යුතුයි කියා කියන්නේනම් ඔවුන් සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවද අගාධයට දමන අන්තවාදී පිරිසක් බව මෙම ලිපියේ සඳහන් කළ බවද උන් වහන්සේ කියා සිටියි.

මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මේ දේහයන් භූමිදානය කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශයන් ලැබී ඇති බවය. නමුත් මෙය අසත්‍ය ප්‍රකාශයක් බවත් සෞඛ්‍ය අංශ මේ වනතුරු ඊට නිර්දේශයක් ලබා දී නොමැති බවද තවම ක්‍රියාත්මක වන්නේ අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සිටි කාලයේ ලබා දුන් නිර්දේශ පමණක් බවද උන් වහන්සේ පවසයි.

නමුත් මේ වන විට අලි සබ්‍රි මහතාගේ අවශ්‍යතාවට පරීක්ෂණයකින් තොරව මෙම දේවල් ක්‍රියාත්මක වන බවත් අලි සබ්‍රි යනු ජනතාවගේ කැමැත්තෙන් පත් වූ ජනතා නියෝජතයෙක් නොවන බවත්, ඔහුව රාජපක්ෂවරුන් විසින් පත් කළ අයෙක් බවත්, අවධාරණය කර සිටින චන්ද්‍රරතන හිමියන් කියා සිටින්නේ වහාම මෙම අමාත්‍යවරයාගේ ඇමතිධුරය සහ පාර්ලිමේන්තු ධූරය ඉවත් කර ඒ සඳහා සුදුසු වෙනත් කෙනෙක් පත් කරන ලෙසටය.

අධිකරණ ඇමතිවරයා ලෙස රටේ ජනතාව පොදු නීති පද්ධතියක් ඇතුලේ වැඩ කිරීමට ලබා නොදී තමන් නියෝජනය කරන ආගමට විශේෂ සැලකිල්ලක් ලබා දී ඒ ආගමික මුලධර්මවාදින්ගේ නියෝජිතයා ලෙස කටයුතු කරන බවක් පෙනෙන්නට ඇතැයිද උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියි.

Social Sharing
නවතම