කොරෝනා හමුවේ දිනක ලංගම ආදායම මිලියන 75 මිලියන 18 ට බසී!

කොරෝනා වසංගතයත් සමඟ මෙරට ආර්ථිකය, කර්මාන්ත දැඩි ලෙස කඩා වැටීමට ලක් විය. එහිදී කඩා වැටුණු ප්‍රධාන කර්මාන්තයක් වන්නේ පෞද්ගලික බස් කර්මාන්තය වේ. පළමු කොවිඩ් රැල්ලේදී මෙන්ම දෙවැනි කොවිඩ් රැල්ලේදිත් බස් හිමියන් මෙන්ම එම බස් වල වැඩ කළ සේවකයින්ද දැඩි ලෙස ආර්ථික අපහසුතා වලට මුහුණ දි තිබුණි.

මේ නිසා පහුගියදා පෞද්ගලික මගී බස්  හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා රජයෙන් ඉල්ලා සිටියේ මේ පවතින වාතාවරණය මත බස් ධාවනය කිරීමට නම් සාමාන්‍ය බස් ගාස්තුව සියයට පනහකින් වැඩි විය යුතු බවය. මන්ද මීටරේ දුර පවත්වා ගනිමින් බස් රථ වල මඟින් ගෙන යාම  පාඩු බව ඔහු කියා තිබුණි. එමෙන්ම සුඛෝපභෝගි බස් රථ වල බස්ගාස්තු 1.5 වැඩි කරන ලෙස ඇතුළු කරුණු 10 කින් සමන්විත යෝජනාවලියක් පහුගියදා ඔවුන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවටද භාර දුන්නේය.

මේ අතර ඊයේ (10) දින මධ්‍යම රාත්‍රියේ සිට පවතින කොරෝනා වෛරස් ව්‍යාප්ති අවදානම් තත්වය අනුව ආසන සංඛ්‍යාවට පමණක් මගී ප්‍රවාහනයේදී පවතින බස් ගාස්තුව 1.2 ගුණයකින් වැඩි කිරීමට රජය අවසර ලබාදී තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව ද රුපියල් 14 දක්වා ඉහළ නැංවේ. එසේම ආසන ගණනින් 50%ක් පමණක් මගීන් ප්‍රවාහනය කිරීමට සිදුවන අවස්ථාවන්හිදී සාමාන්‍ය බස් ගාස්තුව 1.5 ගුණයකින් වැඩි කිරීමට ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇත. මේ සමඟම කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක්ද ඊයේ එළි දැක්විණි. එහිදී බස් ගාස්තු වැඩි විය යුතු ආකාරය හා වසංගමය හමුවේ බස් රථ ධාවනය කළ යුතු ආකාරය, මගීන්ගේ හැසිරීම මෙහි සඳහන් කර ඇත.

මීට අමතරව රජය විසින් තවත් සහන කිහිපයක් බස් හිමියන්ට ලබා දී ඇත. එනම් පෞද්ගලික බස්රථ වලට දැනට අය කරන අවසර පත්‍ර ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් ගාස්තු, මාර්ග තාවකාලික බලපත්‍ර ගාස්තු යන සියලුම ගාස්තු වලින් ඉදිරි මාස 06ක් යන තුරු අය නොකිරීමටය.

එමෙන්ම, පුද්ගලික බස්රථ වලට ලිසිං අය කිරීම මාස 06 කට අයකිරීම නැවැත්වීමටත්, ලංකා බැංකුව මඟින් සහන පොළිය යටතේ ලක්ෂ 03 බැඟින් ලබා දීමටත් ඊට ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතිය හිමිවී ඇත.

කෙසේවුව ද, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මෙරට ගමනාගමනය තුළ විවිධ ගැටළු පැනනැගිමත් සමඟ විශේෂයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයටත්, දුම්රිය දෙපාර්තමේන්තුවටත්, පෞද්ගලික බස්රථ ධාවකයින් හටත් මෙලෙස ගැටළු පැන නැඟී ඇති අතර මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට විශාල අදායම් අඩු වීමකට ලක් ව තිබෙන බවත්, ලංකා ගමනාගමන මණ්ඩලයෙහි මිලියන 75 ක් පමණ වන දිනක සාමාන්‍ය අදායම මේ වන විට මිලියන 18 ට අඩු වී ඇති බවත්, ඒ ආකාරයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක අදායම මිලියන 18 ක් වූ අතර එය ද මේ වන විට මිලියන 05 දක්වා අඩු වී ඇති බවත්  ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ  සඳහන් කර තිබුණි.

මේ තත්ත්වය මත රජයටත් ඉතාම වැය බරක් දරන්නට සිදු වී ඇති බවත්, සිසු සැරිය සහ දුෂ්කර මාර්ග වල ධාවනය ඒ ආකාරයෙන්ම කටයුතු කෙරෙන බවත් සඳහන් කළ හෙතෙම, පෞද්ගලික අංශය ද මඟී ප්‍රවාහනයට විශාල දායකත්වයක් ලබා දෙන හෙයින් ද, ඔවුන් වෙනුවෙන් ද කිසියම් සහනයක් මේ මොහොතේ ලබා දීමටත් රජය කටයුතු කරන්නට තීරණය කළ හෙයින් ද, ගාස්තු වැඩි කිරීමක් ප්‍රතිපත්තියක් වශයෙන් සිදු නොකළ ද, සෞඛ්‍ය නීතිරීති අනුව ධාවනය කිරීමේ දී පෞද්ගලික අංශයට සිදුවන අපහසුව සම්බන්ධයෙන් අතිරේක ගාස්තු ප්‍රමාණයක් අය කිරිමට අවසර ලබා දෙන බවත් මෙහි දී සඳහන් කර තිබුණි.

-ශානිකා-

Social Sharing
නවතම