රජයේ ආදායම් ඉලක්ක 50% ඉක්මවා කඩා වැටේ!

මේ වසර මුලදී ආණ්ඩුව අපේක්ෂා කළ ආදායම් ඉලක්ක අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩු වී ඇති  ආකාරය රජයේ සංඛ්‍යාලේඛන මගින් හෙළි වී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  සංඛ්‍යාලේඛන  පෙන්වා දෙන පරිදි වසර ආරම්භයේ දී රුපියල් බිලියන 800 ක් වූ ආණ්ඩුවේ ආදායම් ඉලක්කයෙන්, වසරේ මුල් මාස දහය  ඉක්මයද්දීත් එකතු වී ඇත්තේ රුපියල් බිලියන 362 ක්  (45.2%) පමණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙම වසර මුල සිට බලාත්මක වූ බදු සංශෝධනයන්ට අමතරව, දිවයිනට බල පෑ කොරෝනා  වසංගත රැළි දෙක  ආදායම් එකතු කිරීමට දැඩි ලෙස හානිකර අයුරින් බලපා ඇති බවයි.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ ආණ්ඩුවේ බදු ආදායම මෙපමන තියුණු අයුරින් කඩා වැටීමට හේතු වුයේ  කොරෝනා වසංගතයට පෙර  පසුගිය දෙසැම්බරයේ දී රජය ගත් අත්තනෝමතික තීරණයක් නිසා බවයි.

මහ ඡන්දය  ජයග්‍රහණය කිරීම වෙනුවෙන්  ව්‍යාපාරිකයන්ට දුන් බදු සහන එයට හේතු වූ බවයි  ආචාර්ය හර්ෂද සිල්වා පවසන්නේ.

ආදායම් ඉලක්ක සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ 2020 වසර ආරම්භයේදී රුපියල් බිලියන 800 ක ආදායම් ඉලක්කයක් සමඟ කටයුතු ආරම්භ කළ රජය, පසුව එම ඉලක්කය රුපියල් බිලියන 600 දක්වා පහත හෙලා යළිත් වරක්  එය රුපියල් බිලියන 470 දක්වා අඩු කිරීමට කටයුතු කළ  බවයි.

එසේ  වුවත් එම සංශෝධිත ඉලක්ක පවා සපුරා ගත නොහැකි බව අද වනවිට පෙන්නුම් කරන අතර, මෙම වර්ෂය සඳහා රජයේ ආදායම් ඉලක්ක තවදුරටත් පහත වැටී ඇති බව, ඔහු පවසා තිබේ.

එම තත්වය  යටතේ මේ වන විට අදායම් ඉලක්කය රුපියල් බිලියන 411 දක්වා තවදුරටත් අඩුකිරීමට දෙපාර්තමේන්තුව උත්සාහ කර ඇති නමුත් එම ඉලක්කයවත් මේ වසර අවසාන වන විට ළඟා කර ගත නොහැකි වනු ඇති බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍යවේදීන්  වෙත පවසා තිබේ.

මේ වසරේ ආදායම් කඩා වැටීම වඩාත් කැපී පෙනෙන්නේ 2019 වසරේ දී ආදයම් ඉලක්කය වූ රුපියල් බිලියන 800 න් රුපියල් බිලියන 785 ක් හෙවත් 98.1% ක් ම උපයා ගත් නිසාය.

මේ සම්බන්ධයෙන් හේතු  දක්වා ඇති දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ  නිලධාරියා කියා ඇත්තේ වසංගතය හේතුවෙන් ආදායම් පහත වැටීමකට ලක් වූ ප්‍රධාන සමාගම් ඇතුළු ඉහල මට්ටමේ බදු ගෙවන්නන් 600 ක් පමණ සිටින අතර ඔවුනට  අමතරව හෝටල් සහ බැංකු අංශවලට ද මෙම තත්ත්වය දැඩි ලෙස බලපා ඇති බවයි.

“සමාගම්වලට සිදුවී ඇති පාඩු හේතුවෙන්, ලබන වසරේදී පවා ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොහැකි වනු ඇත.” යි  ඔහු තවදුරටත් පැවසා තිබේ.

රජයේ ආදායම් වල දරුණු ඛාදනය සම්බන්ධයෙන් අදහස් දක්වන  ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ  අය-වැය හිඟය 10% ක් තබා ගත්තත්, ආණ්ඩුවට තම ආදායම් හිඟය පියවා ගැනීම සදහා රුපියල් ට්‍රිලියනයක් එකතු කරගන්න සිදුවී තිබෙන බවයි.

ඒ සදහා ජනතාව මත පටවන බදු දෙගුණ කිරීමට සිදුවනු ඇති බව ඔහු අනාවරණය කර තිබේ.

“එහෙම නම් එන අවුරුද්ද ගැන මොවුන් ඉදිරිපත් කරල තියෙන විසර්ජන පනත් වලට අනුව අතිශයින් අමාරු කාලයක් වෙනව සාමාන්‍ය ජනතාවට. මොකද මේ ආණ්ඩුව ආපු හැටියේ අඩු කරපු බදු; වැට් එක අඩුකලා, MBT එක අයින් කලා, අදායම් බදු අඩු කලා, හැබැයි ජනතාවට සහන ලැබුනේ නෑ ඒවයින්. මොන බඩුවෙද මිල අඩු වුනේ. නමුත් අනෙක් පැත්තෙන් ආදායම කඩා වැටිල. තියෙන ආදායමෙන් ගෙදර කන්නේ කොහොමද කියල හිත හිතා ඉන්න මිනිස්සුන්ගෙන් රජය කොහොමද ට්‍රිලියනයක් එකතු කර ගන්නේ,” යි හිටපු අමාත්‍යවරයා විමසයි.

Social Sharing
නවතම