රාජ්‍ය සේවකයින් සතියට එක දවසක් දේශීය ඇඳුමකින් සැරසිය යුතුයි!

ලබන ජනවාරි පළමුවෙනිදා සිට රාජ්‍ය සේවකයන්ට සතියකට එක දවසක් බතික් හෝ අත්යන්ත්‍ර පේශ කර්මාන්තය විසින් නිෂ්පාදනය කරන ලද හො ඇඳුම් ඇඳීම සඳහා චක්‍රලේඛනයක් නිකුත් කරන බව බතික් කර්මාන්ත ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (10) දා  පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සංවර්ධන කමි‍ටු ‍රැස්වීමකට එක්වෙමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“වර්තමානය වන විට බතික් කර්මාන්තයේ හා පේශකර්මාන්තයේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඩිසයින්ස්වල ප්‍රශ්නය. පරණ ඩිසයින් තමයි තියෙන්නේ. අලියයි කොටියයි ඉරයි හඳයි. ඒ හින්දා ඒවා කවුරුවත් ගන්නේ නෑ. ඒ වගේම පේශකර්මය පැත්තෙනුත් ඩිසයින්ස්වල විශාල අර්බුදයක් තියෙනවා. දැන් ලංකාව පුරාම සිටින මෝස්තර නිර්මාණ ශිල්පීන් එක්ක එකතුවෙනා අලුත් මෝස්තර හදුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ලක්සලත් සලුසලත් එක ස්ථානයකට මේ ටික හදා ගන්න පුලුවන්. ඒ වගේම අපි දැන් වැඩපිළිවෙලක් සකස් කලා අමුද්‍රව්‍යවල ප්‍රශ්නය විසදගන්න. දැන් ලොකු ඒකාධිකාරයක් තියෙනවා ලන්කාවට ඩයි ගෙන ඒම සම්බන්ධයෙන්. එක පුද්ගලයෙක් පමණයි ඉන්නේ. දැන් බතික් කර්මාන්තයට වැඩි ඉල්ලුමක් තියෙන නිසා මෙයා මිල වැඩි කරනවා. රුපියල් 5000 එක 15000 ට 20 000 ට විකුණනවා. මේක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මෙක විසදන්න ඕන. අනිත් එක නූල් ප්‍රශ්නය. ගම්වල අත්යන්ත්‍රවලට ලොකු සමාගම්වලින් එලියට දාන දෙවෙනි වර්ගයේ නූල් පාවිච්චි කරන්නේ. මේවලින් මහන සාරියට කාන්තාවෝ වැඩිය කැමති නෑ. ඒ නිසා අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා ඩයි ටිකයි හොඳ නූල් ටිකක් ගේන්නයි. 2021 දී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන පේශ කර්ම මධ්‍යස්ථාන අලුත්වැඩියා කටයුතු කරන්න පුලුවන්. පේශකර්ම පුහුණු ආයතනයත් එක්ක එකතු වෙලා අවශ්‍ය කරන පාඨමාලාවන් ක්‍රියාත්ම්ක කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමල්ලා අපට දෙනවා නම් රෙදි ඉස්කෝල පිළිබඳ තොරෝතුරු අපට මේ වැඩේ ලේසි වෙයි. ඊළගට මේ මධ්‍යස්ථානවල වැඩකරන අයට ගෙවන මුදල අඩුයි. දවසකට රුපියල් 600 ක් 700ක් දීලා මේක කරන්න බෑ. ඊට වඩා හොඳයි කියලා හිතනවා කුලී වැඩක් කරන එක කියලා. ඒ නිසා අපි කොටේජ් ඉන්ඩස්ට්‍රි එකක් විදිහට දියුණු කරන්න බලන්නේ. මේ අයට ගෙදරටම මැෂින් ටිකක් දීලා ගෙවල්වල වැඩේ ආරම්භ කරන්න. විදුලි බයින්ඩින් යන්ත්‍ර ලබා දෙන්න යන්ත්‍රානුසාරයෙන් කරන්න හදන්නේ. කර්මාන්ත 200ක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා දිවයින පුරාම. බතික් නිෂ්පාදනය සම්බන්ධයෙන්  බතික් සෙන්ටර්ස් ආසන තුනේ සෙන්ටර්ස් 3ක් දෙන්න පුලුවන්. ඒ තැන්වල එක වරකට 20 දෙනා බැගින් පුහුණු කරලා NVQ සහතිකයක් දෙනවා. අඩු පොලියට ණයක් දීලා මෙය දිරි ගන්වනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය එක්ක අපි සාකච්ඡා කළා. ලබන ජනවාරි ඉදලා රාජ්‍ය නිලධාරීන් ට සතියකට එක දවසක් අත්යන්ත්‍ර පේශ කර්ම හෝ බතික් නිෂ්පාදනවලින් ඇඳුමක් අඳින්න කියලා සියලුම රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා. දැන් ඒක චක්‍රලේඛනයක් විදිහට ආයතනවලට ලැබේවි. දැනටමත් ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. අපි මේ වැඩේ පටන් ගන්නේ ජනවාරි පළවෙනිදා ඉඳලා. ජනවාරි පළවෙනිදා වෙනකොට පේශකර්ම මධ්‍යස්ථානවල සාරි ටික හදාගන්න පුලුවන් නම් කාන්තාවන්ට සාරි ටික විකිනෙයි. බතික් ටික හදා ගන්න පුලුවන් නම් පිරිමින්ට සර්ට් ටික විකිනෙයි. මේවා තව සමුපකාරවලට, ප්‍රාදේශීය සභාවට. සමෘද්ධි නිලධාරීන්ට ආදී විදිහට හදා ගන්න පුලුවන්. ජනවාරි පළවෙනිදා ප්‍රසන්න රණවීර ඇමතිතුමාලගෙන් හොඳ මැටි මුට්ටියක කිරි ටිකක් උතුරවලා පොලොන්නරුවේ පවුල් 130 000ක් පවුල් තියෙනවා කියන්නේ මැටි මුට්ටි 130000කුත් අලෙවි වෙනවා. එදාට උදේ කිරි උතුරලා ලංකාවේ හොඳ දේශීය ඇඳුමක් අඳින්න පුලුවන් නම් පේශකර්මාන්තය ඔසවා තබන්න පුළුවන්. ඒකට අපි හැමෝම එකතුවෙලා වැඩ කරමු. දේශීය ඇගලුම් නිෂ්පාදනය වැඩි  දියුණු කිරීම සඳහා ද අපි වැඩපිළිවෙලක් සකස් කර තියෙනවා.” මෙම අවස්ථාවට විමල් වීරවංශ,කන්චන විජේසේකර, ප්‍රසන්න රණවීර, කනක හේරත්, රොෂාන් රණසිංහ, රමේෂ් පතිරණ, පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු සභාපති අමරකීර්ති අතුකෝරල ඇතුළු මැති ඇමතිවරු ‍රැසක් සහභාගී වූහ.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම