කොරෝනාවෙන් මිය යන මුස්ලිම් පුද්ගලයින්ගේ මළ සිරුරු භූමිදානය කරයිද?

කොරෝනා වෛරස් ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බවත් සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය පවසයි.

සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුලි රාසික් විසින් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට හා අධිකරණ අමාත්‍යවරයා වෙත ස්තුතිය පළ කර ලිපියක් යවමින්  මේ බව ප්‍රකාශ කර ඇත. මෙරට මුස්ලිම් ජනතාවගේ අයිතියට ගරු කරමින් රජය දියත් කළ මෙම යෝජනාව ෛඑතිහාසික තීරණයක් බවද එම ලිපියේ  සඳහන් වේ.

මෙම ලිපිය ඊයේ (09) දා නිකුත් කර තිබු අතර මෙය අද වන විට සමාජ ජාලා වල සැරිසරන ප්‍රධාන පුවතක් බවට පත්ව තිබේ. කොවිඩ් පළමු රැල්ල පැමිණි අවස්ථාවේදීද කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මෘතදේහ භූමිදානය කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති විය. නමුත් එහිදී අවසන්වරට තීරණයකට පැමිණියේ එසේ භූමිදාන කිරීමට නම්  අදාල ප්‍රමිතියකට යුත් ගැඹුරට වලක් කැපිය යුතු සේම ඒ මෘතදේහ බහාලන පෙට්ටිය ද ප්‍රමිතියකින් යුක්ත විය යුතු හෙයින්ද අනවශ්‍ය අවදානමක් නොගෙන මෘතදේහ ආදාහනය කිරීමටය. ඒ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව අවම වුවද රජය එවකට එම තීරණය ගනු ලැබුයේය.

නමුත් මේ වන විට නව කොරෝනා වෛරසය නිසා මිය යන සංඛ්‍යාවද ඉහළ යමින් පවතින අතර රෝගය ව්‍යාප්ත වීමද සීඝ්‍රයෙන් සිදු වේ. එවන් පසුබිමක් තුල රජය මෙම තීරණය ගැනිම අවධානයට ලක් කළ යුත්තකි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියා සිටින්නේ මෙවැනි තීරණයක් තවම සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන නැති බවය.

-ශානිකා-

Social Sharing
නවතම