රැපිඩ් ටෙස්ට් කට්ටල හොර පාරෙන් ලංකාවට ආවේ ඇයි?

නව කොරෝනා වෛරසය පැමිණීමත් සමඟ මෙරට ජනතාවට අලුත් වචන නිරන්තරයෙන් මාධ්‍යයෙන් අසන්නට ලැබුණි. ඒ අතර PCR කියන වචනය සෑම අවස්ථාවකම කෙරෝනා සමඟ බැදී පැවතුණි. මුල් අවස්ථාවේදී මේ PCR පරීක්ෂණය කුමක්ද කියාවත් නොදැන සිටි බොහෝ දෙනෙකු දැන් එය හොඳින් හඳුනන පරීක්ෂණයක් බවට මේ වන විට පත්ව ඇත. එනම් කොරෝනා වෛරසය ශරීරගත වුවාද සොයනු ලබන්නේ මේ පරීක්ෂණයෙන් බවටය. සෑම දිනකම සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර සිටින්නේද මෙතෙක් කර ඇති PCR ප්‍රතිඵල , පරික්ෂණ සංඛ්‍යාවය.

මේ අතර පහුගිය දින කිහිපයක සිට සෞඛ්‍ය අමාත්‍යාංශය PCR පරීක්ෂණ වලට වඩා වෙනත් පරීක්ෂණයක් ගැන කථා කරන්නට විය. ඒ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල (Rapid Antigen Test Kits) ගැනය. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම පරීක්ෂණය ඉතාමත් ලාභ දායි මෙන්ම, කාලය ඉතිරි කරන පරීක්ෂණයක් බවය. එමෙන්ම මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයද මෙම පරීක්ෂණය අනුමත කර ඇති බවත් ඔවුන් පහුගිය දිනවල ප්‍රකාශ කර තිබුණි.

එහි මුලික පියවරක් ලෙස රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල (Rapid Antigen Test Kits)  අතරින් කුමන වර්ගයේ ටෙස්ට් කට්ටල ලංකාවට අවශ්‍යද, මෙය ලංකාවට ගැලපෙනවාද යන්න තීරණය කිරීම සඳහා වලංගුතා පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ වුයේ ඒ අනුවය. නමුත් මෙය අවසන් වීමට ප්‍රථම  එම පරීක්ෂණ කට්ටල විශාල තොගයක් මෙරටට ආනයනය කර තිබුණේ ගිය සතියේය. මෙය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේත්, වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේත් දැඩි කථාබහට යොමු වුයේ ඒ නිසාය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඕනෙම රටක PCR ධාරිතාවය සම්බන්ධයෙන් මේ වගේ ප්‍රශ්න ඇතිවිය හැකි බවත්  දවසකට පරීක්ෂණ මිලියන ගාණක් කරන රටවල්වල වුණත් ඒ ඉල්ලුමට සරිලන ප්‍රමාණයට PCR නැති බවත්  ඒ නිසා අපටත් විකල්ප හඳුනාගෙන ඉදිරියට යාම වැදගත් බවය. එලෙස PCR එකට විකල්පයක් ලෙස  පරීක්ෂණ ක්‍රමවේදයට එකතු කරන්න පුළුවන් කියපු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක, එහෙම නැත්නම් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාව සම්බන්ධයෙන් මේ වෙනකොට  මේක අපේ රටට ගැලපෙනවාද කියලා තීරණය කිරීමේ ක්‍රියාවලියක් රසායනාගාර කිහිපයක සිදු වෙන බවද පවසා සිටියි.

මේ වැලිඩේශන් ප්‍රොසෙස් එක ඉවර කරලා අපේ රටට ගැලපෙනවා නම් ඉක්මනට ගෙන්විය යුතු බවත් නමුත් දැන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ  යම් තොගයක් ගෙන්වා අවසන් බවයි. මේ ගැන  විශේෂයෙන් විපක්ෂය විසින් මේ කාරණය මතු කළ බවත්  තවත් පාර්ශ්ව ගණනාවක් මේකෙ බැරෑරුම්කම ගැන කතා කළ බවත්  මන්ද  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් ගැන  එතරම් හොඳ අතීත වාර්තා නොමැති බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

මේ  වැලිඩේශන් ප්‍රොසෙස් එක ඉවර වෙලා නැත්නම් ලොකු තොගයක් ලංකාවට ගෙන්වලා තියෙනවා නම් එහෙම කරන්න කවුද අවසර දුන්නෙ කවුද කියන එක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටින අතර ඔවුන් පෙන්වා දෙන්නේ ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අවශ්‍ය බවය. දෙරණ නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීර හරහා රජයේ වෛද්‍යවරුන්ගේ අනුමැතියකින් හා අධීක්ෂණයකින් තොරව පෞද්ගලික සමාගමක් මගින් හොර පාරෙන් මේවා ගෙන්වුයේ.? ඇයි කියන ප්‍රශ්නය තම සංගමය රජයෙන් විමසා සිටින බවද ඔවුන් පහුගියදා ප්‍රකාශ කර තිබුණි.

මේ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටින්නේ මෙම කට්ටල සඳහාද භාවිතා කරනු ලබන නිදර්ශක වන්නේ සෙම පටල වන බැවින් බෝවීම ප්‍රචාරණ අවධානම විශාල ලෙස පවතින බවය.  එබැවින් එම පරීක්ෂණ සිදු කරන ක්‍රමවේදය පිළිබඳ සුදුසුකමක් සකසා ගත යුතු බවද ඔහු පෙන්වා දෙයි. මේක කිසිම ආකාරයකින් PCR පරීක්ෂණයට විකල්පයක් නොවන බවත් රූපවාහිනී නාලිකාවල  සමහරවිට විශේෂඥයො, සමහරවිට මාධ්‍ය ප්‍රකාශකතුමා පවා මේක සංසන්දනය කරනවා දුටු බවද නමුත් කිසිම දවසක  PCR පරීක්ෂණයවත් ප්‍රතිදේහ පරීක්ෂණයවත් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් රිප්ලේස් කරන්න හෝ එකත් එක්ක කම්පෙයා කරන්න හෝ ඒක නිසා මේක නවත්තන්නට හෝ නොහැකි බවද ඔහු කියා සිටියි.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටලයේම negative results does not eliminate probability of the sars covid 2. It should be confirmed with PCR or other viral culture කියා සඳහන් කර ඇති බවත් එනම්  මේකෙන් සෘණාත්මක ප්‍රතිඵලයක් ආවත් ඒකෙන් කියන්නේ  ඔයා නැවත තහවුරු කරගත යුතු බවත්ය.

මෙම පරීක්ෂණයට සෙම යොදා ගන්නා අතර මේ සෙම පටලයෙන් රෝගය බෝවෙන බවත්  මෙය  පරිහරණය කිරීමට  ආරක්ෂාව අවශ්‍යයි බවද සෙම පටලය භාවිතා කිරීමේදී PCR පරීක්ෂණයේ මෙන්ම  සම්භාවිතාවයේ ප්‍රශ්නය 30% එලෙසම පවතින බවද රවී කුමුදේශ් මහතා අවධාරණය කර සිටියි.

එමෙන්ම  මෙම පරීක්ෂණ කට්ටලයේ නිෂ්පාදකයා කියන ආකාරයට  මෙය දින 07 ක් තුල  10%ක් වරදින්න හැකි බවත්,  ඒක දින 7 පහුවුණාම තව විශාල වශයෙන් වෙනස් විය හැකි බවද  ඒ අනුව  සම්භාවිතාවන් ගණං බැලුවිට  මේක 60%කට වඩා වැරදි බවත් ඒ නිසා මේ පරීක්ෂාව කරනවා නම් අනිවාර්යයෙන්ම මේකත් එක්ක ස්ථානීය ප්‍රතිදේහ පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ ක්‍රමවේද පාවිච්චි කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

නිවැරදි ක්‍රමවේදයට සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසියම් උපකරණයක් හෝ ප්‍රතික්‍රියකයක් එනවා නම් සෞඛ්‍ය අමාත්යාංශයේ NMRA ආයතනයෙන් මේක පරීක්ෂා කරබැලීම සඳහා නිදර්ශකයක් ගෙන්වන්න අවසර දෙන අතර ඒක ගෙන්නුවාම ඒ පරීක්ෂණය කරලා මේක තහවුරු කරන්න ඕනෙ නිවැරදියි කියලා. ඊට පස්සෙ මේක ලියාපදිංචි කරන්න ඕනෙ. ලියාපදිංචි කරපු එකක් විතරයි අපට ගේන්න පුළුවන්, ලෝක සෞඛ්‍ය සංවිධානය නෙවෙයි අඟහරු ලෝකයේ කිව්වත් එහෙම ගේන්න දෙන ආයතනයක් නෙවෙයි NMRA එක කියන්නෙ. නමුත් සති දෙකක් ඇතුළත හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (රසායනාගාර සේවා), එයා මේක ප්‍රකාශයට පත් කරනවා හිටි හැටියෙම කිසිම වෘත්තීයවේදී ආයතන එක්ක සාකච්ඡාවක් නැතිව කියනවා අපි හෙට ඉඳන් විනාඩි 20 එකක් ගේනවා කියලා. ඒ කියලා සුමානෙකින් විතර බඩු එනවා. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ මේ රටේ කොරෝනා මර්දනය සඳහා අවශ්‍ය පරීක්ෂණයක් විදියටද, එහෙම නැත්නම් මේක ගේන්න ඕනෙ හින්දම ක්‍රියාවලිය වෙනස් වුණාද කියන එක තමයි අපි දිගටම ප්‍රශ්න කරන්නෙ යැයිද රවී කුමුදේශ් මහතා කියා සිටියි.

-ශානිකා-

Social Sharing
නවතම