රෝග වලින් ආරක්ෂා වීමේ අයිතිය සිරකරුවාටද පොදුය!

දෙවැනි කොවිඩ් රැල්ල පළමුව නිර්මාණය වුයේ බ්‍රැන්ඩික්ස් පොකුර ලෙසය. මේ අතර  පෑලිගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයෙන් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමට පටන් ගැනීම නිසා පසුව ඒය පෑලියගොඩ පොකුර ලෙස හැඳින්විණි. මෙයට අමතරව සමාජයේ තැනින් තැන කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ අතර එන අනු පොකුරු ලෙස සැලකුණි. මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේද කොරෝනා පොකුරක් බිහිව ඇත.  මේ සියලු පොකුරු බිහි වෙද්දී රටේ සෞඛ්‍ය නීති රීති දැඩි විය.

එහිදී සියලුම බන්ධනාගාර වලට අමුත්තන් පැමිණිමද තාවකාලිකව අත්හිටවුයේ මෙම වෛරසය බන්ධනාගාර තුලට පැමිණීම වැළැක්විමේ අරමුණෙනි. බන්ධනාගාර වල රැඳවියන් අතර කිසිදු මීටරයේ පරතරයක් නොමැති අතර ඔවුන් දැඩි තදබදයකින් යුක්තව බන්ධනාගාරගතව සිටින පිරිසකි. එමෙන්ම ඔවුන් වැසිකිළි, සබන්, දිය නෑම, ආහාර ගැනීම වැනි සියලු කාර්යයන් සිදු කරන්නේ පොදුවේය. මෙහිදී එක් රැඳවියෙකු හෝ ආසාදිතයෙකු බවට පත් වුහොත් බන්ධනාගාරයේ සියලුම රැඳවියන්ට මෙම වෛරසය ආසාදනය වීම ඉතාම අපහසු කරුණක් බව බන්ධානාගර නිලධාරීන්ද හොඳින් දන්නා කරුණකි. ඒ නිසාම රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන මෙන්ම සිර දඬුවම් වලට යටත් වෙන රැඳවියන්ද මේ බන්ධානාගරයට ගෙන ඒමට පෙර වෙනත් ස්ථානයක තබා නිරෝධායනයට ලක් කර පසුව බන්ධනාගාරය වෙත ගෙන එන්නේද ඒ නිසාය.  එමෙන්ම මේ වන විට රැඳවියන් නඩු ඇසීම සඳහා අධිකරණය වෙත ගෙන නොයන අතර අන්තර්ජාලය ඔස්සේ එම කටයුතු සිදු කරනු ලබයි.

මෙවන් දැඩි සෞඛ්‍ය නීතිරිති මැද රැඳවියන් සිටියද මේ වනවිට ඔවුන්ටත් නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මෙය කෙසේ කොහෙන් ආවාද කියා තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. වැලිකඩ බන්ධනාගාරයේ පමණක් මේ වන විට රැඳවියන් හා නිලධාරින් 29 කටද, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පැවති තදබදය අවම කිරීම සඳහා පැරණි බෝගම්බර බන්ධනාගාරයට මාරු කර යැවු රැඳවියන් 07 කුටද මෛ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳද සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කර සිටියි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 300 කට PCR පරීක්ෂණ මේ වන විට සිදු කර ඇති බවත් ඒ සියලු දෙනාම නෙගටිව් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ මේ අතරය.

දැඩි තදබදයක් පවතින බන්ධානාගරයක් වැනි ස්ථානයක මෙම වෛරසය ව්‍යාප්ත වූ විට  එහි රැඳවියන්ට පොදුවේ මහජනතාවට හඳුන්වා දී ඇති සෞඛ්‍යාරක්ෂක මාර්ගෝපදේශ පිලිපැදීමට  නොහැකිය. නමුත් එසේ කියා කියා ඔවුන් මෙම වෛරසයේ ගොදුරු වනතෙක් බලා සිටියද නොහැකිය. ඔවුන්ට ද ලෙඩරෝග වලින් බේරී ජීවත් වීමේ අයිතියක් ඇත. ඒ අයිතිය ලබා දීමට මේ රජය කටයුතු කළ යුතුව ඇත.

-ශානිකා-

Social Sharing
නවතම