වසංගත හමුවේ ආගමානුකූලව අවසන් ගමන් යාමේ අවශ්‍යතාව

කොරෝනා ආසාදනය වීමෙන් මියයන ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට අපක්ෂපාතී  විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස වෛද්‍ය විශේෂඥයන් සිදු කළ ඉල්ලීමට හය මසක් යනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ බලවත්  කනස්සල්ලත්, විරෝධයත් පල වී තිබේ.

වසංගතයට ගොදුරුවී මියයන මුස්ලිම්වරුන් ගේ සිරුරු පිළිස්සීමට රජය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පවා නොතකා පියවර ගැනීම නිසා ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා ඇත්තේ හය මසකට ඉහතදීය.

කඩිනමින් එම කමිටුව ස්ථාපිත කර මෙරට මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භූමදානය කිරීමේ මානුෂික අයිතිය ලබා දෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ නොවැම්බර් 4 අඟහරුවාදා  පාර්ලිමේන්තුවේදීය.

ඉස්ලාම් භක්තිකයන්ගේ ආගමික පිලිවෙත නොතකා රජය විසින් මේ වන විට කොරෝනාබාධිතව මිය ගිය මුස්ලිම් ජාතිකයන් නම දෙනකුගේ සිරුරු පුළුස්සා ඇති බව පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළ විපක්ෂ මන්ත්‍රීවරයා ආගමානුකුල ලෙස අවසන් ගමන් යාමට ඔහුට මෙන්ම, අලි සබ්රි අමාත්‍යවරයාටද නොහැකිවීම ගැන අදහස් දැක්වීය.

“අද වෙන කොට නම දෙනයි. තව මේක කල් යන්න කල් යන්න මේක වැඩි වෙනවා. මේක මානුෂික ප්‍රශ්නයක්. මේක දේශපාලනයක් නෙමෙයි. ඔබතුමා මැරුනොත් ඔබතුමාවත් පුච්චනවා. මම මැරුනොත් මාවත් පුච්චනවා. අන්න ඒක කල්පනා කරන්න.” රහුමාන් මන්ත්‍රීවරයා අධිකරණ අමාත්‍යවරයාට අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් තහවුරු  කරන  පරිදි නොවැම්බර් 5 බ්‍රහස්පතින්දා  වන විට කොව්ඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුලදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව  29 කි.

ආණ්ඩුව මෙරට  මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ගෙන ඇත්තේ අන්තවාදී තීන්දුවක් බවට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද චෝදනා කළේය.

විපක්ෂ නායකයා  එල්ල කරන චෝදනා වලට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සදහන් කළේ මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු පුළුස්සා දැමීම සම්බන්ධයෙන් එම ජනතාවට ප්‍රශ්නයක් පැවතියත් එය දේශපාලනීකරණය කර නොගත යුතු බවයි.

කොරෝනාබාධිතව මිය  යන මුස්ලිම් ජාතිකයනගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා  අපක්ෂපාති විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස  මහාචාර්ය වජිර දිසානායක හා   මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රමුඛ වෛද්‍ය  විශේෂඥවරුන්  සිදු කළ ඉල්ලීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන්ද විපක්ෂ නායකයා ආණ්ඩුවට චෝදනා කළේය.

එම චෝදනාවට අධිකරණ අමාත්‍යවරයා දුන් පිළිතුර වූයේ ඒ සම්බන්ධයෙන් නැවතත් කටයුතු කරමින් සිටින බවයි.

Social Sharing
නවතම