අනිල් ජාසිංහගෙන් බලාපොරොත්තු වූ දේවල් මගෙන් බලාපොරොත්තු වන්න එපා! – නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් වසංගතයේ පළමු රැල්ලේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාවට සුවිශේෂි කාර්යභාර්යයක් ඉටු විය.  එහි ප්‍රධාන චරිතය වූයේ එවකට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාය. ඔහු මාධ්‍යවේදීන් සමඟ සුහදව කටයුතු කරමින් සෘජුව මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් ජනතාවට අවැසි මඟ පෙන්වීම ලබා දුන්නේය.

නමුත් ඔහුට හදිසියේම වෙනත් අමාත්‍යාංශයකට ස්ථාන මාරුවක් ලැබුණි. 2020 අගෝස්තු 13 දා  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කර පරිසර අමාත්‍යාංශයේ ලේකම්ධුරයට පත් කරනු ලැබුණි. එතැන් පටන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ බැලුයේ වෛද්‍ය ශ්‍රීධරන් මහතාය.

දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වී සති කිහිපයක් යනතුරුත් එම තනතුරට ස්ථිර නිලධාරියෙකු පත් කිරීමට රජයට නොහැකි වී තිබුණි. මෙවන් පසුබිමක් තුල සෞඛ්‍ය අමාත්‍යාංශය හා මාධ්‍ය අතර තිබු සබඳතාද ගිලිහි යමින් පැවතිණි. වෛද්‍ය අනිල් ජාසිංහගේ රික්තය පිරවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටි කිසිවෙකුටත් නොහැකි විය.

මේ අතර පහුගියදා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂව සිටි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත් කිරීමට රජය පියවර ගෙන තිබුණි. ඔහු 2003 වසරේ සිට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන සේවයේ කටයුතු කරන අයෙක් වන අතර කොළඹ රිජ්වේ ළමා රෝහලේද වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ අයෙකි.

වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සිය ධුරය ගැන කථා කරමින් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින ඒ රික්තය පිරවීමට හැකි බවත් එහි කිසිදු ගැටළුවක් නොමැති බවත් නමුත් ඊට යම් කිසි කාලයක් ගත වෙන බවත්ය. තමන් අනිල් ජාසිංහ නොවන බවත් තමන් අසේල ගුණවර්ධන බවත්, ඒ නිසා අනිල් ජාසිංහගෙන් බලාපොරොත්තු වූ සියලු දේ තමාගෙන් බලාපොරොත්තු නොවන ලෙසද ඔහු කියා සිටියි. තමන් මාධ්‍ය සමඟ ගණුදෙණු කිරීමට සුදානම් බවත් ඒ තමන්ගේ වපසරිය තුල බවත් ඔහු පවසයි.

වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ නව පත්වීම සම්බන්ධයෙන්ද ඇතැම් පාර්ශව විසින් විවිධ අදහස් පහුගිය දිනවල පළ කර සිටින ලදි. එහිදී ප්‍රධානම දෙය වුයේ මෙම පත් කිරීම සිදු වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරියට මොහුගේ ඇති පක්ෂග්‍රාහිත්වය නිසා බවය.

මේ සම්බන්ධයෙන්ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ සිටියේ මෙසේය.

“පුරප්පාඩු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අයදුම්පත් කැඳවන්නේ අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කරන ලද ඉන්ටවීව් බෝඩ් එකකින්. මා ඇතුලු නව දෙනෙක් ඉන්ටවිව් එකට ගියා. එම බෝඩ් එක නිර්දේශ කරපු නම් අමාත්‍යවරිය විසින් කැබිනට් මණ්ඩලයට අරන් ගියා. ඒ අනුව මාව පත් වුණා. මම කවදාවත් පස්ස දොරෙන් ආපු මනුස්සයෙක් නෙමේ.”

ඔහු මේ තොරතුරු හෙළි කර සිටියේ පෞද්ගලික නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

 

Social Sharing
නවතම