අභියෝගාත්මකම අයවැය මෙවර – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

මෑත යුගයේ අභියෝගාත්මකම අයවැය මෙවර ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

රට මේ වන විට අසාමාන්‍ය තත්ත්වයකට මුහුණ පා ඇති බවත් එවන් පසුබිමක අයවැය ඉදිරිපත් කිරීමේදී විවිධ ගැටළු මතු විය හැකි නමුත් මේ රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම රජයට ඇතැයිද ඔහු පවසයි.

එබැවින් ජනතාව ජීවත් කරවීම හා රටේ සංවර්ධනය යන ප්‍රධාන කරුණු පදනම් කර ගනිමින් මෙවර අයවැය සකසන  බවද හෙතෙම කියයි.

එදා යුද්ධයක් තිබියදී පවා එය ජයග්‍රහණය කර රට සංවර්ධනය කරා ගිය බවත් අද ගෝඨාභය, මහින්ද, බැසිල්  සුසංයෝගයෙන් රටේ සෞභාග්‍ය දැක්ම කරා ගෙන යාමට හැකියාව ඇතැයිද අමාත්‍යවරයා පවසයි.

රටේ භෞතික සම්පත් විදේශයන්ට දීමට තිරණය කර නොමැති බවත්, ජනතාව ලබා දුන් බලය මත සියල්ල සිදු වෙනු ඇතැයිද වැඩ බැරි අයට බලය තිබුණත් වැඩ කරන්න බැහැ කියා දැන් රටට පෙන්වා දී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ කුණ්ඩසාලේ පැවති උත්සවයකදි මාධ්‍ය අමතාය.

-ශානිකා-

Social Sharing
නවතම