බුදුදහමට අපහාස කරලා පටන්ගත්ත ගමන අද වන විට “ස” ෆෙල් කියන තැනට ඇවිත්!

විද්‍යාත්මකව කොරෝනා මර්දනය කළ යුතුව තිබියදී ආණ්ඩුවේ මැති ඇමතිවරු මිත්‍යාව වපුරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

දින දෙකකට පමණක් ඇඳිරි නීතිය පනවන බව පවසා එක්වරම තවත් සතියකින් ඇඳිරි නීතිය දීර්ඝ කිරීම නිසා ජනතාව අසරණ වී ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මේ රට අසමත් රටක් බවට පත්ව ඇති බවත් ඔහු පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීවේය.

“සති අන්තයේ ඇඳිරි නීතිය දාපු වෙලාවේ දවස් දෙකකට විතරක් බඩු ගන්න කියලා තමයි කියලා තිබුණේ. ඒත් නැවත වතාවක් පොල්ලෙන් ගැහුවා වගේ ඇදිරිනීතිය දාලා තියෙනවා. මේ තත්වය පාලනය කිරිමට ඇදිරිනීතිය පැනවිය යුතුයි. ඒත් ඇඳිරි නීතිය පනවන්නේ දින දෙකකට පමණයි කියලා, ජනතාවට පොරොන්දුවක් දීලා, බඩු රැස් කරගන්න කලබල වෙන්න එපා කියලා ජනතාවට පොරොන්දුවක් දීලා, දැන් එකවරම ඇඳිරි නීතිය පනවපු නිසා මුදල් තිබුණත් ජනතාවට බඩු ගන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ.

ආණ්ඩුව බිහිවෙලා වසරක කාලයක් ගතවෙලා. ගිය පෝය දවස අපිට මතකයි. මීට අවුරුද්දකට කලින් වප් පෝය දවසේ වපුරපු අස්වැන්න ගෙදරට ගන්න පුලුවන් වෙලා තියෙනවා. එදා වපුරන්න ගත්තේ කැළණියෙන්. උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ කියලා තමයි කියන්නේ. එදා කැළණියෙන් දිය දෙබෑ කරගෙන නාගයෙක් ආවා. මේඩ් ඉන් චයිනා කියල කරඩුවක ධාතු අරගෙන ආවා. නයි ධාතු අරගෙන ඇවිත් කැළණිය අපහාස කරගෙන ආපු ආණ්ඩුව දැන් අසමත් වෙලා. අපේ බුදුදහමට අපහාස කරලා පටන්ගත්ත ගමන අද වන විට ‘ස’ ෆෙල් කියන තැනට ඇවිත් තියෙන්නේ.

ආණ්ඩුව බලයට ආවේ මිත්‍යාව වපුරලා. බොරු කියලා. පෝර නොමිලේ දෙනවා කියලා, බඩු මල්ලක් දෙනවා කියලා, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඩුවම දෙනවා කියපු ආණ්ඩුව අද අසමත් වෙලා. මේ ආණ්ඩුව විද්‍යාව වෙනුවට මිත්‍යාව නැවත වරක් අරගෙන ඇවිත් තියෙනවා. වියතුන් සමග ආණ්ඩුව හදන බව කිව්වා. වියතුන් ආණ්ඩුවට එනවා කිව්වා. එහෙම කියපු ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරිය විශ්ව ශක්තිය තියෙනවා කියන පැන් මුට්ටියක දාලා ෂොපින් කවරයකින් කට ගැට ගහලා කළු ගඟට දානවා. උදය ගම්මන්පිලත් කැළණිය ගඟට මේවා දානවා. ප්‍රසන්න රණතුංගත් උදේ ඇදගෙන ඉදපු ඇදුම පිටින් ගිහින් වතුර දානවා. අපි මිත්‍යාවෙන් විද්‍යාවට යා යුතු කාලයේදී මිත්‍යාවට යනවා. එදා හැට නම ලක්ෂයක් ජනතාව ඇන්දුවේ මිත්‍යාවෙන්. නැවත වරක් ජනතාව මිත්‍යාවෙන් අන්දන්න තමයි ආණ්ඩුව හදන්නේ. පිරිත්පැන් වල තිබෙන ශක්තියට නිගා කරමින් ආන්ඩුව නැවත වරක් ජනතාව අන්දන්න හදනවා. නැවත වරක් මේ ආණ්ඩුවේ රැවලටිලිවලට, ඇන්දිලිවලට ඇන්දෙනවාද කියලා ජනතාවගෙන් අහනවා

කොරෝනාවලින් අසමත්වූ ආණ්ඩුව, පළමු රැල්ලේ සිට දෙවැනි රැල්ල එන විට එක වෙන්ටිලේටරයක්වත් ගෙන්න ගන්න බැරිවෙලා. එක දැඩි සත්කාර ඇඳක්වත් රෝහල් පද්ධතියට එකතු කරගන්න බැරිවුන සෞඛ්‍ය ඇමැතිවරියක් අද ඉන්නේ. ඇයට පුළුවන් වෙලා තියෙන්නේ එළියන්ත වයිට්ගේ විශ්ව ශක්තිය තියෙන කලයක් ගඟට දැමීම පමණයි.

කොරෝනා ආසාදිතයින්  මිය ගියත් මේ අය මියගොස් තිබෙන්නේ වෙනත් ලෙඩක් නිසා බව කියමින් තමන්ගේ ඇඟ බේරාගැනීමට උත්සාහ ගන්නවා. ජනතාව සෞභාග්‍යවත් රටක් අපේක්ෂාවෙන් සිටියේ. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ සව් භාගයක්වත් ගන්න බැරි වෙලා. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ අභාග්‍යමත් රටක් ඇතිවෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ යටතේ මේ රට අභාග්‍යමත් රටක් බවට පත්ව තිබෙනවා.

-ශානිකා-

Social Sharing
නවතම