නව රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට යෝජනා 12 ක්!

රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද ජය ලාල් මහතා, වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරින් ඉවත් කෙරුණේ ඉකුත් 01 දාය. ඒ ඔහු සම්බන්ධයෙන් චෝදනා 16 ක් ඉදිරිපත් කරමින්  පහුගියදා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය විසින් ලිපියක් ජනාධිපතිවරයාට යැවීමෙන් අනතුරුවය.

ඉන්පසු රසායනාගාර සේවාවේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස වෛද්‍ය එස්.කේ. රත්නායක මහතා පත් කර කෙරුණි. වසංගත ත්ත්ත්වය පාලනය කිරීම සඳහා වෛද්‍ය රසායනාගාර සේවාව වේගවත් කිරීම සඳහා උපාය මාර්ග 12 කින් සමන්විත යෝජනාවලියක් ඔහුට ලබා දීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව දැනට පවතින PCR ධාරිතාව අඛණ්ඩව හා බිඳ වැටීමකින් තොරව පවත්වා ගැනීම සඳහා පවතින ගැටළු නිවැරදිව හඳුනා ගැනීම සිදු කල යුතු බව සඳහන් කරන ඔවුන් පෙන්වා දෙන්නේ මේ සඳහා ප්‍රශ්ණාවලියක් යොමු කර තොරතුරු කඩිනමින් ලබා ගැනීම, දැනට හඳුනාගත් අඩු පාඩු ලෙස ප්‍රතික්‍රීයක නිසි පරිදි නොලැබීම, අතිකාල නොගෙවීමේ ගැටළු, නවාතැන් හා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරී හිඟය, ප්‍රවාහන පහසුකම් පිළිබඳ ගැටළු මූලික වී ඇති බවය. එහෙයින් PCR ධාරිතාව ඉදිරියේදී ක්‍රමානුකූලව වැඩි කිරීම සඳහා ඉතා කුඩා පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කල හැකි රසායනාගාර සඳහා අමතර යන්ත්‍රයක් ලබා දීමට ඇති හැකියාව සොයා බැලීම, කාර්යක්ෂමව සහ පහසුවෙන් භාවිතා කල හැකි ප්‍රතික්‍රීයක කට්ටල සැපයුම අඛණ්ඩව බිඳ වැටීමකින් තොරව සපයා දීම, ක්ෂය රෝග හා ළය රෝග මර්ධන ව්‍යාපාරය යටතේ ඇති PCR යන්ත්‍ර 36 ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි ප්‍රතික්‍රීයක සැපයුමක් ලබා ගැනීම. (මේ සඳහා ජනාධිපතිතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම ලැබෙන්නේ නම් පහසුය. ඇමරිකානු රජයෙන් ඉල්ලීමක් කිරීම යෝග්‍යය), POCT වර්ගයේ ස්ථානීය පරීක්ෂණ සිදු කල හැකි යන්ත්‍ර කිහිපයක් හෝ ගෙන්වා ගැනීම. මෙම යන්ත්‍ර සමඟ වෛරස් අක්‍රීය කරණ ප්‍රවාහන මාධ්‍ය පැමිණෙන නිසා ක්ෂේත්‍රගත පරීක්ෂණ සඳහා පහසු වේ. (මේ සඳහා ඉන්දියානු රජයෙන් ඉල්ලීමක් කිරීම යෝග්‍ය වේ.)  සුදුසු බවට කරුණු සඳහන් කර ඇත.

එමෙන්ම විවිධ වර්ගවල පරීක්ෂණ සිදු කිරීමට ඇති හැකියාව තහවුරු කිරීම අත්‍යාවශ්‍ය බවත් මේ සඳහා මේ සඳහා අදාල පාර්ශවයන් එකතු කර ගැනීම අවශ්‍ය බවද පෙන්වා දී ඇත. පරීක්ෂණ සිදු කිරීමේ ඇල්ගොරිදමයන් සකස් කර ඒ අනූව අවශ්‍ය පරීක්ෂණ හා අවශ්‍ය අවස්ථාවේ භාවිත කිරීම මඟින් අනවශ්‍ය ලෙස PCR ධාරිතාව සහ ප්‍රධාන රසායනාගාර වෙහෙසට පත්වීම වැලැක්විය හැකි බවත් මීට අදාලව සාමාන්‍ය දැනට පවතින PCR පරීක්ෂණ ක්‍රමයට අමතරව ක්ෂය රෝග හා ළය රෝග මර්ධන ව්‍යාපාරය සතුව පවතින යන්ත්‍ර භාවිතා කිරීමත්, ස්ථානීය පරීක්ෂණ සිදු කල හැකි POCT වර්ගයේ යන්ත්‍ර කිහිපයක් හෝ කඩිනමින් ගෙන්වා ගැනීමත්, ප්‍රතිශක්ති රසායනවේද (Immunochemistry) ක්‍රමවේදයන්ට අදාලව මූලික රෝහල් පද්ධතිය දක්වා ව්‍යාප්තව ඇති යන්ත්‍ර භාවිතා කොට ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමට ඇති හැකියාව සොයා බැලීමත්, ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සිදු කිරීමට ඇති හැකියාව සොයා බැලීමත්, අවස්ථානුකූලව ඒ ඒ පරීක්ෂණ සිදු කරන ආකාරය පිළිබඳව නිශ්චිත ඇල්ගොරිදමයක් සකසා ගැනීමත් සිදු කල යුතු බවට යෝජනා කර ඇත.

තවද ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමට හැකියාවක් ඇති ප්‍රතිශක්තිරසායනවේද (Immunochemistry) යන්ත්‍ර රැසක් දැනටමත් මූලික රෝහල් පද්ධතිය දක්වා ව්‍යාප්තව ඇති හෙයින්  එම යන්ත්‍ර අවශ්‍යනම් සපයා ගැනීමේ හැකියාවන් පවතින බව පෙන්වා දෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය ඒ සඳහාද කරුණු සඳහන් කර ඇත. දැනට සමහර අවස්ථාවන්හීදී රෝගියෙකු හඳුනා ගැනීම හා පිටත් කර හැරීම සඳහා පමණක් හත්වතාවක් පමණ PCR පරීක්ෂණ සිදු කරන අවස්ථා ඇතැයිද ඔවුන් පවසයි.

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල (Rapid Antigen Test Kits) ගැන ඔවුන් මෙසේ පවසා සිටියි. දැනට ක්ෂනික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල කිහිපයක් පිළිබඳව යෝග්‍යතාවයන් පරීක්ෂා කරමින් පවතින අතර  එම කට්ටල සඳහාද භාවිතා කරනු ලබන නිදර්ශක වන්නේ සෙම පටල වන බැවින් බෝවීම ප්‍රචාරණ අවධානව විශාල ලෙස පවතී. එබැවින් එම පරීක්ෂණ සිදු කරන ක්‍රමවේදය පිළිබඳ සුදුසුකමක් සකසා ගත යුතුවේ.  ස්ථානීය PCR යන්ත්‍ර සම්බන්ධයෙන් ඒහි වාසි පෙන්වා දි ඇත. ඊට අමතරව රසායනාගාර වෙත නිදර්ශක ගෙන්වා නොගනිමින් ක්ෂේත්‍රෙය් පරීක්ෂා කිරීම සඳහා ජංගම රසායනාගාර ක්‍රමයක් සැකසීම , ජාතික රෝහල/ කළුබෝවිල රෝහල වැනි හඳුනා ගත් පුධාන රෝහල් වල PCR හා ප්‍රතිදේහ (Antibody) පරීක්ෂණ රසායනාගාර පිහිටුවීම, අඩු කාලයකින් පරීක්ෂණ සිදු කල හැකි යනුත්‍ර කිහිපයක් ප්‍රධාන රසායනාගාර වෙත ලබා දීම යන යෝජනා ඉදිරිපත් කර ඇත.

එම යෝජනාවලියේ අවසන් කරුණ වන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තෘප්තිමත්භාවයය. 24 පැය පුරා වෙහෙසකාරී කාර්යයක් සිදු කරමින් සිටින රසායනාගාර කාර්ය මණ්ඩලය සහ ක්ෂේත්‍රගතව කැපවීමෙන් ක්‍රියාත්මක වන සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ඇගයීමට පත් කිරීමත් ඔවුන් පිළිබඳව අවධානයෙන් පසු වන බව තහවුරු කිරීමත් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය බව නිරීක්ෂණය වන අතර ඊට සමගාමීව ඔවුන්ව නොසලකා හැර ඇති බවට නැගෙමින් පවතින මැසිවිලි දිනෙන් දිනම වැඩි බව ප්‍රකාශ කර ඇත.  එම තත්ත්වය බාධාවීම වලක්වා ගැනීම සඳහා විශේෂ දීමනාවක්, විශේෂ පහසුකම් ප්‍රමාණයක් දිවා ආහාර සහ නවාතැන් පහසුකම් ප්‍රමාණයක් ලබා දීම පිළිබඳවඅවධානය යොමු කිරීම වැදගත් බවත් ඒ ඒ කාර්යය මණ්ඩලයට අදාල වෘත්තීයවේදී ආයතන වෘත්තීය සමිති විශේෂ නිපුණතා සහිත කණ්ඩායම් සමඟ නිරන්තර සාකච්ඡාවක් ඇති කර ගැනීමේ ක්‍රමවේදයක් සකසා ගත යුතු අතර කාල වේලාව ලැබෙන පරිදි  ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සිදුවන සාකච්ඡාද හැකි පමණ සෑම ක්ෂේත්‍රයකම විවිධ මට්ටම් වල වෘත්තිකයන් සඳහා අවස්ථාව ලබා දීම මඟින් වඩා සාමුහික වඩා ක්‍රියාකාරී වසංගත පාලන මෙහෙයුමක් දියත් කල හැකි වනු ඇතැයි ඔවුන් වැඩිදුරටත් කියා ඇත.

-ශානිකා-

Social Sharing
නවතම