නාමල් පෙරටුගාමීන්ට සිදුකළ පහර දීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ඉල්ලන්නේ ඇයි?

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදු කළ සාමකාමී විරෝධතාවයට පහර දෙමින් පුද්ගලයින් 53 කු පොලිසිය අත්අඩංගුවට ගත් අයුරු මේ වන විට මුලු රටම දන්නා කරුණකි.

මීටරයේ දුරස්ථභාවය පවත්වා ගනිමින්, සෞඛ්‍ය නීති රිතීන්ට අනුකූලව සිදු කළ මෙම සාමකාමී විරෝධතාවයේදි පොලිසිය පහර දුන් අයුරු, පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා අමානුෂික ආකාරය පිලිබඳ මේ වන විට මුලු රටේම යම් කථිකාවතක් ගොඩනැගෙමින් තිබේ. බොහෝ අය මෙම විරෝධතාවයට කළ පහර දීම තරයේ හෙළා දකිමින් අප්‍රසාදය පළ කරන අයුරු දැකිය හැකිය.

පොලිසිය කළ මෙම අමානුෂික පහරදීම කිසිවෙකුත් නම් අනුමත කරන්නේ නැත. විශේෂයෙන්ම තරුණියන්ට පොලිසිය සිදු කළ පහර දීම්, ඔවුන්ව අත්අඩංගුවට ගත් කෲර ආකාරය දකිද්දි පොලිසිය ගැන නැගෙන්නේ අප්‍රසාදයකි. රජය ගැන කළකිරිමකි.

රටේ සියලු දෙනාම මේ ගැන කථා වෙන පසුබිමක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සිය අදහස පවසා තිබුණි. ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි. ඔහු කියා සිටින්නේ මෙම පහර දීම කිසිසේත්ම අනුමත නොකරන බවත් එය තරයේ හෙළා දකින බවත්ය. එමෙන්ම මේ පහර දීම සම්බන්ධයෙන් වහාම පරික්ෂයක් පැවැත්විය යුතු බවද ඔහු කියා ඇත.

ඔහුගේ මෙම ප්‍රකාශය අවංකව සිදු කළ එකක් නම් එය ඉතා වටින්නේය. නමුත් මෙතැන බලය පිලිබඳ ගැටුමක් නිසා නාමල් රාජපක්ෂ විසින් මෙලෙස පරික්ෂයක් ඉල්ලා සිටින්නේදැයි සැක සංකා මතු වෙමින් ඇත.

නාමල් රාජපක්ෂ පවුලේ අයත් ඔහුගේ බාප්පා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතරත් සීතල ගැටුමක් අභ්‍යන්තරයේ පවතින බව කොයි කවුරුත් දන්නා දෙයකි. ඒ දේශපාලන බලය වෙනුවෙනි. ජනාධිපතිවරයා පවසන්නේ මේ රට වංචාවෙන්, දුෂණයෙන් තොර රටක් කිරිමට නම් මේ සිටින හොරු එලවා දැමිය යුතු බවය. නමුත් අග්‍රාමාත්‍යවරයා එය අනුමත කරන්නේ නැත. ඔහුගේ අදහස වියත් මඟේ අයට වඩා හොරු සමඟ කටයුතු කිරිමය. එමෙන්ම පරම්පරාවෙන් පරම්පරාවට සිය නායකත්වය රැගෙන යාමය. ඒ නිසා රාජපක්ෂලාගේ අභ්‍යන්තරයේ පවතින ගැටුම වරින් වර එළියට එන්නේ මෙවන් අවස්ථා වලදීය.

මෙම විරෝධතාවයට පහර දුන්නේ ආණ්ඩුවේ නියෝගයක් අනුව බව මේ වන විට විවිධ ආරංචි පැතිරෙමින් ඇත. ඒ නිසා නාමල් රාජපක්ෂගේ අභිලාෂය වුයේ මේ අවස්ථාවේ ජනාධිපතිවරයාව රටේ ජනතාවගේ අප්‍රසාදයට ලක් කිරිමත්, තමන්ගේ දේශපාලනයට රටේ ජනතාවගෙන් ලකුණක් දමා ගැනිමත් විය හැකිය.

නමුත් මෙහිදි තවත් කිව යුතු විශේෂ දෙයක් ඇත. එනම් නිරෝධායන නීති රෙගුලාසි කඩ කරමින් සතියක් පුරා පැවැත්වු තොණ්ඩමන්ගේ අවමඟුලේදි නාමල් රාජපක්ෂට රටේ ජනතාව ගැන හැඟීමක් තිබුණේ නැත. එක පොදියට මිනිසුන් පොරකද්දි, පියාගේ අවමඟුල උඩින් වතුකරයේ මනාප ගන්න දමිළ චිත්‍රපටියක මෙන් වාහන වල නැඟි ගමන් කළ තොණ්ඩමන්ගේ පුතා සිදු කළ වැරදි ක්‍රියාව නාමල් දුටුවේ නැත. ඒ ගැන පරික්ෂණයක් ඉල්ලුවේද නැත.

ඒ ගැන සිතා බලද්දි පෙරටුගාමීන්ට සිදු කළ ප්‍රහාරය සම්බන්ධයෙන් නාමල් දක්වන අනුකම්පාව යට ඇත්තේ කූඨ අරමුණක්ද යන්න සැක මතුවීම වළකාලිය නොහැකිය.

 

සබැදි පුවත්

අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 53 දෙනාටම ඇප

Social Sharing
නවතම