සහල් මිල හමුවේ ආණ්ඩුව මුනිවත රකින්නේ මෝල් හිමියන් ඡන්දෙට වියදම් කල නිසයි!

දිවයින පුරා සහල් මිල ඉහළ යමින් තිබිය දී ආණ්ඩුව මේ මොහොතේ මුණිවත රකින්නේ පසුගිය මැතිවරණ කාලයේ මහා පරිමාණ මෝල් හිමියන් මැතිවරණය වෙනුවෙන් ඒ මැති ඇමතිවරුන්ට දැරූ වියදම් ආවරණය කර ගැනීමට කළ ගුණ සැලකීමක් ලෙස බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සමුපකාර සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා චෝදනා කරයි.

මෙම තත්ත්වය නිසා පොලොන්නරුවේ පමණක් නොව මුලු රටේම සහල් තොග හා සිල්ලර වෙළෙන්දන් සහල් වෙලදාමෙන් ඉවත් වෙමින් සිටින බව ද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පෙරවරුවේ මාධ්‍යවෙත අදහස් දක්වමිනි .එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ ද කීය.

” අද මේ වන විට රටට බත  සපයන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෙළද සැල්වල, කුඩා වෙළද සැල්වල, ලංකා සතොස අලෙවි සැල්වල, සමුපකාර අලෙවිසැල්වල පාරිභෝගිකයන්ට සහල් මිලට ගන්න බැරි වෙලා තියෙනවා. සහල් නෑ. මේකට ප්‍රධානම හේතුව නාඩු වී කිලෝව රුපියල් 60 දක්වා ඉහළ හිගින් තියෙනවා. එතකොට සහල් සදහා උපරිම සිල්ලර මිල රුපියල් 96යි. මේ සහල් මිලත් වී මිලත් අතර තිබිය යුතු පරතරය නොතිබීමත් වී මිලට සාපේක්ෂව සහල් මිල නොතිබීමත් සහල් මිලට සාපේක්ෂව වී මිල නොතිබීමත් කියන ගැටලුව නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. අද නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 100 දක්වා ඉහල ගිහිල්ලා තියෙනවා. නමුත් ආණ්ඩුව ගැස්ට් නිවේදනයක් මගින් පණවා තිබෙන උපරිම සිල්ලර මිල රුපියල් 96යි. රුපියල් 100ට තොග මිලට ලැබෙන මිලට සිල්ලර කඩ හොමියෝ සහල් රුපියල් 96 ට විකුණන්නේ නැ. මේ තත්ත්වය නිසා පොලොන්නරුවේ පමණක් නොව මුලු රටේම සහල් වෙළදාමේ යෙදෙන ව්‍යාපාරිකයන් සහල්  වෙළදාමෙන් ඉවත් වෙලා තියෙනවා. වෙළඳ ඇමතිවරයාත් රජයත් හොඳාකාරවම දන්නවා මේ මිලට සහල් දෙන්න බෑ කියලා. එහෙම තියෙද්දී බලධාරින් නොදැක්කා සේ බලාගෙන ඉන්නේ ඉන්නෙ බබ්බුද? ඇයි මේ ගැටළුව විසදන්නේ නැත්තේ. මේ ගැටලුව විසදන්නේ නැතුව හිතූ හිතූ මිලට ඕන ඕන කෙනෙකුට වී මිලත් සහල් මිලත් ඉහළ යන්න අත හැරලා නාම මාත්‍රික ගැසට් නිවේදනය තියාගෙන බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා නිකන් බලාගෙන ඉන්නවා. ඇයි මේ. මේ සහල් මිල වැඩි කරන්නත් වී මිල වැඩි කරන්නත් කටයුතු කළ මෝල් මා‍ෆියාව වන මහා පරිමාණ මෝල් හිමියෝ තමයි මේ රජය බලයට පත් කරන්න ගිය මැතිවරණ දෙකේ දී මහා බර පැනක් දැරුවේ. මේ හාල් රුපියල් 110 ට 120 ට කීරි සම්බා 140 ට යන්න ඇරලා ආණ්ඩුව බලන් ඉන්නේ මැති ඇමතිවරුන්ට පහුගිය මැතිවරණ කාලයේ දරපු වියදම් ආවරණය කරගන්න කළ ගුණ සැලකීමක් තමයි මේ බලන් ඉන්නේ. මහා පරිමාණ මෝල් හිමියෝ මැතිවරණයේ දී මේ මැති ඇමතිවරුන් ට කරපු වියදම් හම්බකරගන්න ඉඩ දීලා බලන් ඉන්නේ. මේ කොරෝනා ව්‍යසන වෙලාවේ මේ රටේ අහිංසක මිනිසුන් හූරා කන්න ඉඩ දීලා බලන් ඉන්නේ කළ ගුණ සලකන්නයි. අද වෙනකොට මහා පරිමාණ මෝල් හිමියන් මේ සහල් කරන්නේ අඩු මිලට ගත් වී තොගයි. නමුත් සුළු හා මධ්‍යපරිමාන මෝල් හිමියන් එදිනෙදා ගන්න වී තොග තමයි සහල් කරන්නේ. අදත් නාඩු වී මිල රුපියල් 58ක් 60ක් අතර මිලකට තමයි මිල දී ගන්නේ. ඒක අපට රුපියල් 96කට දෙන්න පුලුවන් කමක් නෑ.මහා පරිමාණ මෝල් හිමියෝ ඔය අඹරන්නේ මීට මාස 6කට 10 කට කලින් ගත්ත වී තොගයි. ඔවුන් සහල් තොග දෙන්නේ අපට ලැබෙන තොරතුරු අනුව නාඩු සහල් 100යි සම්බා 107 ත් 110 අතර. කීරි සම්බා 135යි එතකොට තව දුරටත් මේ වෙළද ඇමතිවරයා ඇතුළු වග කිවයුත්තන් බලන් ඉන්නේ අර කළ ගුණ සැලකීම නිසයි.” යැයි ද හෙතෙම කීය.

ඊෂා  මුදියන්සේ- පොලොන්නරුව

Social Sharing
නවතම