“අපිට උඩ බලාගෙන කෙළ ගහන්න බැරි නිසා ඉවසනවා” – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

අපි දන්නවා ආණ්ඩුවක් තියෙන වග. ඒත් ආණ්ඩුව දන්නේ නැහැ අපි ඉන්නා වග යැයි පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය. ආණ්ඩුව සම්බන්ධයෙන් උන් වහන්සේ එහිදී වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

“මේ ආණ්ඩුව ගොඩනැගුවේ අපි. පහුගිය කාලේ අපේ රටේ ජනතාව හැම අයුරකින්ම දුක් වින්දා. ජාතික, ශාසනික, සංස්කෘතික හා ආර්ථික පැත්තෙන් රටේ ජනතාවට ගැටලු මතු වුනා. ඒ නිසා ජනතාව තුල මතු වුනේ යහපාලන ආණ්ඩුව ඉවත් කරලා මේ රටට ගැලපෙන ආණ්ඩුවක් මතු කර ගැනමේ අවශ්‍යතාවයක්. එහිදී ජනතාවගේ සංකල්පයක් වුනේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට. ඒ නිසා අපිත් එකතු වෙලා දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාම මේ සංකල්පය ගෙන ගියා. අපි ගැහැට විඳිමින් තමයි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව බලයට ගෙන ආවේ.

ගෝඨාභය රජපක්ෂ මහතා පත් වුනාට පස්සේ මේ රට හදයි කියලා ලොකු බලාපොරොත්තුවක්  තිබුණා. නමුත් ටික කාලයක් යනවිට තේරීගෙන ගියා. අපි දන්නවා ආණ්ඩුවක් තියෙන වග. ඒත් ආණ්ඩුව දන්නේ නැහැ අපි ඉන්නා වග. ඒත් අපි හිතුවේ අපි බලයට ගෙන ආ ආණ්ඩුව රැක ගත යුතුයි කියලා. අපිට දැන් මේ ගැන පොඩි කළකිරීමකුත් තියෙනවා.

මහින්ද රාජපක්ෂ කියන්නේ ජනතාවගේ හදවත දිනාගත් නායකයෙක්. මේ 2/3 බලය හම්බවුනේ ඔහු නිසා. වෙන කවුරුවත් නිසා නෙමෙයි.  එත් මේ 20 වෙනි සංශෝධනයේදි එතුමා තුෂ්නිම්බීතව, උකටලීව ඉන්නේ ඇයි කියන කාරණය අපටත් වටහා ගන්න බැරි වුනා.  අපිට ඒ් ගැන තවමත් අදහා ගන්න බැහැ. අපි හදා ගත්තු ආණ්ඩුව නිසා උඩ බලාගෙන කෙළ ගහන්න බැරි නිසා ඉවසගෙන ඉන්නවා මිසක් මේ භික්ෂුන් වහන්සේලාගේ බලය තවම අඩුවෙලා නැහැ.

මේ 20 සම්මත කර ගැනිමේදී පෙනුනේ භික්ෂුන්ගේ හඬට කන් දුන්නේ නැහැ. රදගුරු හඬට කන් දුන්නේ නැහැ. අනෙකුත් ආගම් වලට කන් දුන්නේ නැහැ. මේ පාර කන් දීම අඩු වුනා. නම්‍යශිලි බව අඩු වුනා. අද සමහර මිනිස්සු අපෙන් අහන ඒවාට අපිට උත්තර නැහැ. අද සෝභිත හාමුරුවෝ හිටියනම් වලෙන් නැගිටලා හරි උඹලා මේ මොකද්ද කරන්නේ කියා අසනවා. මමත්, උන් වහන්සේ එදා ඉඳලම කැප වුනේ මේ පාලන ත්‍රන්තය වෙනස් කරන්න. අපි දෙන්නා එකට හිර බත් කෑව දෙන්නෙක් . . අපේ අවාසනාවට උන් වහන්සේ අපවත් වුනේ.

Social Sharing
නවතම