ආචාරධර්ම කඩන ජනමාධ්‍යට නැවතත් නිර්දේශ!

වසංගත සමයේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී  ජනමාධ්‍ය සදහා හදුන්වා දී තිබෙන නිර්දේශ දේශීය රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ආයතන විසින් දිගින් දිගටම  කඩ කිරීම  සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රවෘත්ති බලධාරීන්ගේ නොසතුට පළ වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යලිත් වතාවක් මාධ්‍ය ප්‍රධානීන්ට  දැනුම් දී  ඇත්තේ කොවිඩ් 19 වෙරසය ආසාදිතව මරණයට පත් තැනැත්තන්ගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවන් හා සම්බන්ධයෙන් නොකළ යුතු දර්ශන ඇතැම් මාධ්‍ය ආයතන විසින් විකාශය කරන බව නැවත වරක් නිරීක්ෂණය වී ඇති බවයි.

“විශේෂයෙන්ම දේහය බහාලන ලද පෙට්ටිය ආදාහනාගාරය වෙත රැගෙන ඒම, ඇතුළුකිරීම හා ඒ සම්බන්ධ අතිශය සංවේදී   ක්‍රියාකාරකම් මේ අයුරින් මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කරනු ලැබේ,” ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සහ කර්තෘවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව කියා සිටියි.

මෙවැනි මාධ්‍ය භාවිතයන් මගින් එම තැනැත්තන්ගේ ඥාතීන් හා සමීපතමයන් බලවත් මානසික පීඩාවකට හා අගතියකට පත් වන බව නාලක කලුවැව ප්‍රවෘත්ති ප්‍රධානීන්ට සිහි ගන්වා ඇත.

එවැනි මාධ්‍ය භාවිතයන් වැළැක්වීම සදහා, සෞඛ්‍ය අමාත්‍යාශය හා කොවිඩ් 19 වැළැක්වීමේ කාර්යය සාධන බලකාය විසින් හදුන්වා දෙන ලද නිර්දේශ පිළිපදින ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා වැඩි දුරටත් ඉල්ලා තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 12 දින සියලු විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඔක්තෝබර් 13 දින ජනමාධ්‍ය අමාත්‍යාශයේ ලේකම් ජගත් පී.විජේවීරගේ අත්සනින් යුතුව “කෝවිඩ් 19 පිළිබද ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මාධ්‍ය ආචාරධර්මවලට අනුගතවීම සහ වගකීම් සහගත මාධ්‍ය භාවිතය” මැයෙන් එම ආයතන ප්‍රධානින්ට  ලිපියක් යොමු කරමින් ප්‍රධාන  උපදෙස් 10ක් ලබා දී තිබුනි.

ඒ පහත අයුරිනි;

  1. සෑම විටම කොවිඩ් 19 සම්න්ධයෙන් වාර්තා කිරීම සදහා සත්‍ය සහ තහවුරු කරන ලද මුලාශ්‍ර පමණක් භාවිත කිරීම,

 

  1. නිරෝධායනයට ලක්කරන පුද්ගලයන්/රෝගීන් සහ මරණ වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය හා ආගම සදහන් නොකිරීම,

 

 

  1. වෛරසය ආසාදිත පුද්ගලයන් ” රෝගීන් ” මිස, අනෙක් අයට “රෝගය පතුරුවන පුද්ගලයන්” ලෙස හැදින්වීමෙන් වළකින්න,

 

  1. අවදානමේ ප්‍රමාණය තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කර වාර්තාකිරීම සහ විවිධ පුද්ගලයන්ගේ පෞද්ලගික මත සමාජ ගත කිරීමේන් වැළකීම,

 

  1. නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් සහ රෝගීන්ගේ ඡායාරූප, වීඩියෝපට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය කිරීමෙන් වැලැකීම,

 

 

  1. මිය ගිය අයගේ අවසන් කටයුතු පිළිබද සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන බොඳ කොට භාවිතය යෝග්‍ය වේ. තවද, කොවිඩ් 19 ආසාදිත රෝගියකු මිය ගිය අවස්ථාවේදී විශේෂයෙන්ම ආදාහනය සිදු කරන දර්ශන පෙන්වීමේදී අදාළ දේහය ආදාහනයට රැගෙන යන අයුරු පෙන්වීම මගින් සහ ආදාහනය කිරීමට සුදානම් වන අවස්ථාවේදී එම මෘත ශරීරය බහාලු පෙට්ටිය ආදාහනාගාරයට ඇතුල් කර යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ පිරිස් ඇද සිටි ආරක්ෂිත කබා සහ අත්වැසුම් ආදිය ඉවත් කර ඒ තුළට දමන දර්ශන මගින් මිය ගිය පුද්ගලයාට යම් අගෞරවයක් සිදුවන බැවින් එම තත්ත්වය මග හරවා ගැනීම සදහා අත්‍යවශ්‍ය නම් දේහය සුසානභුමිය වෙතට රැගෙන එන දර්ශන පමණක් විකාශය කිරීම,

 

  1. එම ආදාහන අවස්ථාවන්ට සහභාගී වන පවුලේ ඥාතීන්ගේ අනන්‍යතාවයන් කිසිදු අයුරකින් හෙළි නොවන ආකාරයට දර්ශන යොදා ගැනීම,

 

  1. ඇතැම් අවස්ථාවන්හිදී, ප්‍රායෝගික තත්ත්වයන් මත නිරෝධායනයට ලක්වන ප්‍රදේශ සහ නිරෝධායනයට යොමු කිරීමට උත්සාහ දරන පුද්ගලයන් හා සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ද ඇතුලත්ව යම් ගැටුම්කාරී/ මතභේදාත්මක තත්වයන් ඇතිවීමේ හැකියාවක් පවති. එම දර්ශන විකාශය අත්‍යවශ්‍ය නම් සියලු පාර්ශවයන්ගේ ගෞරවය ආරක්ෂා වන ආකාරයට එම දර්ශන විකාශය කිරීම,

 

  1. ජනතාව තුළ වෛරය ඇති වන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වැළකීම,

 

  1. මෙම කොවිඩ් 19 තත්ත්වය ජන මනසට ආතතිය සහ ඉච්ඡාභංගත්වය ඇති වන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇති වන ලෙස ප්‍රවෘත්ති සහ දැනුවත් කිරීම ලබා දීම.

ජනමාධ්‍ය අමාත්‍යාශයේ ලේකම් ජගත් පී.විජේවීරගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ලිපිය යොමු කර තිබුනේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයසිංහ, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහන, ටෙල්ශාන් නෙට්වර්ක් සභාපති ශාන් වික්‍රමසිංහ, ඒ.බී.සී මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා, පවර් හවුස් ලිමිටඩ් සභාපති දිලිත් ජයවීර, කැපිටල් මහරාජා නෙටිවර්ක් සභාපති ආර්.රාජ මහේන්ද්‍රන්, වොයිස් ඔෆ් ඒසියා නෙට්වර්ක් සභාපති රොෂාන්ත කාරියප්පෙරුම, ආර්ට් ටෙලිවිෂන් බ්‍රොඩ්කාස්ටින් සභාපති අයි.ඩබ්.ඒ සේනානායක, ඊ.බී.සී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි, ශ්‍රී සම්බෝධි මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ ජනරාල් රෝහන ගරුතර, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් බිනුවර, සුප්‍රීම් ටෙලිවිෂන් නාලිකා ප්‍රධානී කාංචන කොඩිතුවක්කු, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ, ටී.එන්. එල් රේඩියෝ නෙට්වර්ක් සභාපති නිරාජ් වික්‍රමසිංහ, ඇසෙට් රේඩියෝ බ්‍රොඩ්කාස්ටින් සභාපති නිහාල් සෙනවිරත්න ඈපා, ලක්විවි බ්‍රොඩ්කාස්ටින් සභාපති ආශ්‍රිකා එදිරිසිංහ, ලංකා ටෙලිවිෂන් නෙට්වර්ක් සභාපති ශනිල් මෙන්ඩිස්, ද ෆ්‍රී මීඩියා නෙට්වර්ක් සභාපති ඇන්ටන් ජයමහ, ට්‍රයිමාස් මීඩියා නෙට්වර්ක් සභාපති වින්සෙන්ඩ රාජන්, ස්ටැටික් ඒජන්සි සභාපති රාජා විජේරත්න සහ රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ කළමනාකරු ජනිත් ජයසේන වෙතයි.

Social Sharing
නවතම