නවගමුව පොලිස් සිර මැදිරියේ මරණයක්!

නවගමුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් තරුණයෙකු පොලිස් සිර මැදිරිය තුල ගෙල වැලලාගෙන ඊයේ (31) අලුයම සිය දිවි නසාගෙන ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ හංවැල්ල, ආටිගල, පන්සල පාරේ  පදිංචි සේනාධීර පතිරගේ ගිහාන් මධුසංඛ නම් විසි පස් හැවිරිදි තරුණයෙකි. මොහු පවුලේ එකම පිරිමි දරුවාය.

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා නවගමුව පොලිසිය යාමේදි මෙම තරුණයාව හෙරොයින් ග්‍රෑම් 1 මිලි ග්‍රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මොහු මිය යන අවස්ථාවේ එම සිර මැදිරිය තුල තවත් සැකකරුවන් සිව් දෙනෙකු සිටි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝශණ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (31) දින කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කර ඇති අතර විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින්ද පොලිස් සිර මැදිරිය පරික්ෂාවට ලක් කර තිබේ.

මොහුගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් යොදවා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. එහිදී සිර මැදිරියේ සිටි අනෙක් සැකකරුවන්ගෙන්ද ප්‍රකාශ ලබා ගැනිමට නියමිතය.

කෙසේ නමුදු මීට පෙර පූගොඩ පොලිසිය විසින්ද අත්අඩංගුවට ගත් තරුණයෙකු අසනීප වී මිය ගිය අතර පසුව අනාවරණය වුයේ ඔහුට පහර දීම නිසා මිය ගිය බවය. මේ වන විට එම පොලිස් නිලධාරීන් වැඩ තහනමට ලක්වද සිටියි. එමෙන්ම හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවක්ද මිය ගිය අතර පොලිසිය පවසා සිටියේ ඇය හෙරොයින් පැකට්ටුවක්  ගිල දැමු බවය.

ශානිකා / අයිරංගි එදිරිසිංහ

Social Sharing
නවතම