හෝටල් අධ්‍යක්ෂ මණ්ඩලයත් පොලීසි ගෙන ගිය මංගල සාදය

බස්නාහිර පළාතටම නිරෝධායන පොලිස් ඇඳිරි නිතිය පැනවුයේ ඉකුත් 29 දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදිය. එහිදී ප්‍රකාශ කෙරුණේ සියලුම සාද, විවාහ උත්සව ඇතුලු ජනතාව ඒකරාශී වන සියලු දේවල් තහනම් බවය. සෞඛ්‍යාරක්ෂිතව නිවසට වී මෙම කාලය ගත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දුන්නේය.

එහෙත් ඊයේ (30) දින කොල්ලුපිටිය පොලිස් වසමට අයත් තරු හෝටලයක විවාහ ගිවිස ගැනිමේ  උත්සවයක් පවත්වා ඇත. මෙහිදී විවාහ ගිවිසගෙන ඇත්තේ ජෙරොන් ෆිටෙක්ස් නම් තිස් හැවිරිදි වත්තල ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙක් සහ සුමෝ සුගන්ධිනී නම් විසිහත් හැවිරිදි කොටහේන ප‍්‍රදේශයේ පදිංචි තරුණියක් බව ඊයේ නෙත් නිවුස් වාර්තා කර තිබුණි.

එහෙත් සමාජ මාධ්‍ය වල පළ වුයේ මෙය හිටපු අමාත්‍ය V.රාධා ක්‍රිෂ්ණන්ගේ පුත්‍රයෙකුගේ විවාහ උත්සවයක් බවය. නමුත් එය රාධා ක්‍රිෂ්ණන් මහතා ප්‍රතික්ෂේප කර සිටින අතර ඔහු මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ මේ විවාහ උත්සවය සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් කර නොමැති බවත් මෙයට අවසර ලබා දෙන්නේ නම් ලබා දිය යුත්තේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා බවය.

කෙසේ නමුදු මෙම විවාහ උත්සවය පැවැත්වෙමින් තිබියදී පොලිසියෙන් ගොස් එය නැවැත්වීමට කටයුතු කර ඇත. නමුත් ඒ වන විටත් විවාහයේ සියලු කටයුතු අවසන් වී තිබු බව පැවසේ.

පොලීසිය පවසන්නේ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ වලින් පරිබාහිරව, නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මෙම සාදය පවත්වා ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඊයේ දිනම හෝටල් කළමණාකරුගෙන් හා විවාහ උත්සවය සංවිධානය කළ සංවිධායකයින්ගෙන් කට උත්තර ලබා ගැනිමට කොල්ලුපිටිය පොලිසිය පියවර ගෙන තිබුණි.

අද ( 31) දින හෝටල් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදු කෙරෙන අතර හොටල් අධ්‍යක්ෂ මණ්ඩලයට, කළමණාකරුට හා සංවිධායකයින්ට එරෙහිව නිරෝධායන රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ ඉදිරියේදී නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

-ශානිකා-

 

Social Sharing
නවතම