කොවිඩ් වසංගතය පුපුරා හමාරයි, ණය ගිණිකන්ද පුපුරමින් ඇත.

ලෝකයේ චිර ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක් වන GOLDMAN SACHS මෑතදී නිකුත් කරන ලද සිය Global Economic Paper නම් ලේඛනය මඟින් පසුගිය දශක හතරක කාලය තුළ සිදුවූ ස්වෛරී රාජ්‍යයන්ගේ ණය ආතතිය හා බංකොලොත්වීම් පිළිබඳ විග්‍රහයක් කර ඇත. කොවිඩ් – 19 හා එයින් පසු රට රටවලට සිදුවිය හැකි මූල්‍යමය අර්බුදයන් පිළිබඳව අනතුරු අඟවා ඇත.

ඔවුනට අනුව පසුගිය වසරක කාලය තුළ ඉක්වදෝරය, ආජන්ටිනාව හා ලෙබනනය අධිණය ආතතිය විසින් ණය ගෙවාගත නොහැකිව බංකොලොත්භාවය පෙන්වා ඇත.

ඉදිරි කෙටිකාලය තුළ අධිණය ආතතිය (Debt Distress) විසින් ශ්‍රී ලංකාව, ඉරාකය, ගැබොන් හා ඇන්ගෝලාව බංකොලොත්වීම සඳහා වැඩි ඉඩකඩක් ඇති රටවල් ලෙස හඳුනාගෙන ඇත.

එමෙන්ම පකිස්ථානය, මොසැම්බික්, එල්සැල්වදෝර්, මොංගෝලියාව ආදී රටවල් කිහිපයක් ණය ආතතිය විසින් බිඳ වැටීමට ඉඩ ඇති බවද ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සිය ණයගැති භාවය ප්‍රතිව්‍යුහගත නොකළහොත්, අළුත් ආදායම් දේශීය හා විදේශීය ලෙස ගොඩනැගීමට අපොහොසත් වුවහොත්, සිය සංවර්ධන ප්‍රමුඛතා වෙනස් නොකළහොත් ණය ආතතිය විසින් බිඳවැටීමට ඉඩ ඇති බව පසුගිය වසර 05 ක් පුරා මවිසින් අනතුරු අඟවා ඇත. ආණ්ඩුවේ සංවර්ධන උපායමාර්ගය විසින් රට ණය අර්බුදයකට ගෙනගොස් ඇති බව 2014 දී මවිසින් ලියන ලද ‘ආලපාළු ආර්ථිකය’ නම් කෘතියේ පෙන්වා දී ඇත. 2015 දී බලයට පත් වූ නව ආණ්ඩුවට ණය කළමණාකාරීත්වය සම්බන්ධයෙන් ගතයුතු උපාය මාර්ගය ගැන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. එයට නෑසුකන්ව මෛත්‍රී-රනිල් ක්‍රියාකරද්දී ‘මූල්‍ය අගාධය අභිමුව’ නමින් කෘතියක් ජනගත කිරීමට ද ක්‍රියා කළෙමි. විවේචනයෙන් නොනැවතී 2019 දී ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අභියෝගය ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකළ යුතු අකාරය හා දේශීය විදේශීය ආදායම් වැඩිදියුුණු කරලීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් ‘ඉන්න හිතෙන රටකට’ නමින් ඉදිරිපත් කර ඇත.

ආවේග හා අනුරාගය මත දේශපාලන තීන්දු ගැනීම සඳහා ජනතාව මෙහෙයවන කූඨ ජනමාධ්‍ය ප්‍රහාරයක් විසින් ඒ බුද්ධිමය අනතුරු ඇඟවීම් යටපත් කරනු ලැබීය.

2019 දෙසැම්බර් 01 වන දා ධනපතියන්ට බදු සහන දුන් නවලිබරල් අන්තවාදී ආර්ථික හා බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ විට 2020 වසරේ ආණ්ඩුවේ ආදායම ප්‍රමාණවත් වන්නේ රාජ්‍ය අංශයේ වැටුප් හා ණය පොලිය ගෙවීමට පමණක් බව මවිසින් අනතුරු අඟවා ඇත. (2020 ජනවාරි) ඒ සියල්ල කොවිඩ් එන්නට පෙරය.

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2020 APPROPRIATION BILL පතට අනුව 2020 ණය පොලිය පමණක් රුපියල් බිලියන 965 කි. බදු සහන නිසාත්, කෝවිඩ් ප්‍රශ්නය නිසාත් මෙවර අපගේ අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 1200 න් 80 % ක් වැය වන්නේ ණය පොලිය ගෙවීමටය !  එමෙන්ම 2020 ආණ්ඩුවේ මුළු වියදම රුපියල් බිලියන 4,484 ක් වන තත්ත්වය තුළ ආණ්ඩුව දරුණු රාජ්‍ය මූල්‍ය අර්බුදයකට දැනටමත් හසුවී ඇති බව පැහැදිළිය. එනම් රුපියලක ආදායමක් ඇතිව රුපියල් 3.75 ක් වියදම් කිරීමට සිදුව තිබීමය.

ශ්‍රී ලංකාවේ 1931 සිට ඉතිහාසයේ විධිමත් ලෙස අයවැයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ එකම වසර ලෙස (මාගේ දැනීමේ හැටියට) 2020 හැඳින්විය හැක. එමෙන්ම 2020 අප්‍රේල් 30 සිට සැප්තැම්බර් 01 දක්වා වූ මාස හතරක කාලයට සිදුකළ වියදම් මුළුමනින්ම නීති විරෝධීය. එමෙන්ම කළින් කල රාජ්‍ය වියදම් පසුව පාර්ලිමේන්තුව අනුමත කිරීමද මුළුමනින්ම ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට පටහැනිය.

මේ සියල්ලගෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ නායකයින් තමන් සිටගෙන සිටින අර්බුදය හඳුනාගෙන නැති බවය. කෝවිඩ් – 19 ඉදිරියේ කළාක් මෙන් මාධ්‍යවල කූඨ නාටක රඟ දැක්වීමෙන්, සංඛ්‍යා ලේඛන යටපත් කිරීමෙන් මූල්‍ය අර්බුදය විසඳෙන්නේ නැත. සම්ප්‍රදාය වන්නේ කාර්තුවක් අවසන් වීමෙන් දින 75 ක් ඇතුළත සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දළ ජාතික නිෂ්පාදිතයේ දත්ත ඉදිරිපත් කළයුතු වීමය. 2020 දෙවන කාර්තුව ගැන දත්ත ඉදිරිපත් කළ යුතුව තිබුණේ 2020 සැප්තැම්බර් 15 වුවත් එය ද කල්දමා ඇත. පළමු කාර්තුවේදී කොවිඩ් වසංගතය බලපෑමකින් තොරව දළ ජාතික නිෂ්පාදනය 1.6% කින් අඩු වූ  බව ප්‍රකාශ වී ඇත. දෙවන කාර්තුවේදී එය 20% ඉක්මවා ඇති බව විදේශීය මූලයන් පවසයි. ප්‍රතිඵලය කුමක්ද ? නිල දත්ත නොමැති වූ විට ගෝල්ඩ්මන් සැක්ලා, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි විදේශ මූල වලින් දත්ත ලබාගැනීමට සිදුවීමය. එම දත්ත මත ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලංකාව දිනෙන් දින පහළට ශ්‍රේණිගත කිරීම නිසා ලංකාවට තවදුරටත් විදේශ වානීජ වෙළෙඳපොළෙන් ණය ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙමින් පවතී.

කොවිඩ් 19 පිළිබඳව මාධ්‍ය කූඨ නාටක හා සංඛ්‍යා ලේඛන යටපත් කිරීමෙන් වූයේ දැවැන්ත කොවිඩ් රැල්ලකට රට නොදැනුවත්වම යොමුවීමය. අද වන විට ආසාදිතයන් කොපමණ සිටීදැයි සොයාගත නොහැකි තැනට රට වැටී හමාරය. රටේ ආර්ථික තත්ත්වය මැන ගැනීමට නම් ගෝල්මන්ඩ් සැක් ට යැවිය යුතු නැත. විකිණීමට තිබෙන දේපොළ, ගේදොර, උපකරණ දැන්වීම් වලින් පෙනී යයි. අඩුම තරමින් හාල්, පොල් සහ කහ වත් ලබාදිය නොහැකි තත්ත්වයකට ආණ්ඩුව පත්ව ඇත.

මාකඳුරේ මධුෂ් ඝාතනය පිළිබඳ ඉදිරිපත් කළ ප්‍රබන්ධය හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ඇති වූයේ බ්‍රැන්ඩික්ස්ලා නිසා නොව යුක්රේනයේ ගුවන් නැවියන් නිසා බව ප්‍රකාශ කිරීම වැනි ප්‍රබන්ධයන් මඟින් පාතාල ලෝකය හෝ කොවිඩ් මර්ධනය වන්නේ නැත. එමෙන්ම ව්‍යාජ සංඛ්‍යා ලේඛන දත්ත මගින් ලංකාවේ ණය ගිනිකන්ද පිපිරීම වැළැක්වීමට ද නොහැකිය.

අප මතක තබාගත යුත්තේ ඊළඟ මාස කිහිපය තුළ බුර බුරා නැගෙන අධිණය ආතතිය නම් ගිණි කන්ද පුපුරා යා හැකි බවය. මෙයට කොවිඩ් 19 සම්බන්ධයක් සෘජුව නැත. 2005 – 15  කාලයේ ක්‍රියාත්මක කරන ලද ආදායම් නූපදවන වැඩබිම් සංදර්ශනයේ ප්‍රතිඵල 2016 සිට ලැබෙමින් තිබේ. කොවිඩ් ඒ අර්බුදය වේගවත් කර ඇත. දැන් රටට අවශ්‍ය ඇත්ත කියනා, අවංකව රාජ්‍ය මූල්‍යය ප්‍රායෝගිකව ශක්තිමත් කළ හැකි සමාජ දේශපාලන බලයකි.

මාධ්‍ය කූඨ නාටකවලට වසංගත හෝ අධිණය ආතති පුපුරා යෑම වැළැක්විය නොහැක.

 

පාඨලී චම්පික රණවක

2020.10.31

Social Sharing
නවතම විශේෂාංග