මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ගැන විමර්ශනය CCD යට පවරන්න එපා! –  නීතිපති

මිනුවන්ගොඩ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම්බන්ධතාවය පිලිබඳ වහාම විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් සති දෙකක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබුණේ පහුගිය 27 දාය.

ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙය කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දුන් අතර එහි අධ්‍යක්ෂකවරයාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වෙත  පවරන ලදි.

නමුත් එය ඔවුන්ට පවරන විටත් එහි නිලධාරින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදිත බව නීතිපතිවරයා වෙත සැල වී ඇත. ඒ අනුව නීතිපතිවරයා විසින් යළිත් වැඩ බලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇත්තේ වහාම මෙම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයෙන් ඉවත් කර වෙනත් කොට්ඨාශයකට පවරන ලෙසය. නැතහොත් අපරාධ කොට්ඨාශයේ නිලධාරින් හරහා කොවිඩ් ව්‍යාප්ත විය හැකි බවට සැක පළ කර ඇත.

ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙම පරීක්ෂණ වෙනත් කොට්ඨාශයක් වෙත පවරනු ඇත.

මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් 13 කුට කොවිඩ් ආසාදනය වී ඇති අතර එහි සිටි සියලුම පොලිස් නිලධාරින් මේ වන විට නිරෝධායනය කර ඇත. එම කොට්ඨාශයට පත් කර ඇත්තේ වෙනත් නිලධාරින් පිරිසකි.

-ශානිකා-

Social Sharing
නවතම