හෙට ගැන නිර්ණායක දෙන්න බැරි තරමට අවදානම්! – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

තවමත් වාර්තා වන රෝගීන්ගේ අඩුවක් නැති බවත් ඒ නිසා තවම අප ඉන්නේ භයානක උවදුරක් ඉදිරියේ තබාගෙන යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

PCR පරීක්ෂණ කිරීමේ ධාරිතාවයත් එක්ක වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය මීට වැඩිය යම්කිසි ප්‍රමාණයකින් වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබිය හැකි බවත්, නමුත් හැකි තරම් උත්සාහ ගත යුත්තේ  මහජනතාවගෙන් විය යුතු දායකත්වය නිවැරදිව ලබාදිම යැයිද ඔහු පෙන්වා දෙයි.  මේ අවස්ථාවේ රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ එකතුවෙලා සංචරණය සීමා කරලා රෝගය ව්‍යාප්ත වීම පාලනය කරන්න උපරිම වෙහෙස වී ඇති නමුත් හෙට දවසේ හමුවෙන රෝගීන් ගැන 100%ක්ම නිර්ණායකයක් ඉදිරිපත් කරන්න බැරි, යම්කිසි විදියකින් ඉදිරියට පොඩ්ඩක් අවදානම් සහගත තත්වයක් ඇතැයිද කීහ.

අමාත්‍යාංශයේ අධ්‍යනයන්ට අනුව තීරණය කර තියෙන්නෙ දවසකට 7000ත් 8000ක උපරිමයකට යටත්ව උපරිම හැකියාවන් යොදලා PCR පරීක්ෂණ කරන්න පුළුවන් බවයි.  එතකොට එක යන්ත්‍රයක් කැඩෙනවා කියන්නෙ ඒ යන්ත්‍රය දවසකට 500 – 1000 අතර පරීක්ෂා කරපු යන්ත්‍රයක්. ඕනෑම යන්ත්‍රයක් එක දිගට කාලයක් පාවිච්චි කරනකොට එහි යම් යම් අකර්මණ්‍යතා ඇතිවෙන්න පුළුවන්. එය ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කරන්න ඕනෙ. ඒ චීන රටේ සමාගමට අදාළ විශේෂඥයෙක් ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කරලා තියෙනවා. මේක තාවකාලික තත්වයක්, එය තව දවසක් හෝ දෙකක් ඇතුළත යථා තත්වයට පත්වේවි යැයිද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

එසේම මේ දවස්වල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරල් ට්‍රාන්ස්පෝට් මීඩියා නිෂ්පාදනය කරන්නෙ නෑ, ඒ කටයුත්ත ඇණහිටලා තියෙන්නෙ. හැබැයි පහුගිය කාලය පුරාවටම වෛරල් ට්‍රාන්ස්පෝට් මීඩියා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් 150,000කට වැඩිය රජයට ලබාදීලා තියෙනවා. රෝගීන්ගේ සාම්පල ගන්න ලබාදීලා තියෙනවා රුපියල් 350ක් වැනි අවම පිරිවැයක් යටතේ. ඒ ඒවා නිෂ්පාදනය කරන්න යන වියදම.  මේක වෙළඳපොලේ ඇතැම් කාලවල ඉතාමත් අධික මිලට යන කාලෙ තමයි වෛද්‍ය පර්යේෂණ ආයතනය ඒ දායකත්වය ලබාදුන්නෙ. වෛරල් ට්‍රාන්ස්පෝට් මීඩියා කියන්නෙත් මේ පරීක්ෂණයේ එක කොටසක්. පරීක්ෂණය කරන්න ටෙස්ට් කිට් කියන එකක් ඕනෙ. එක්ස්ට්‍රෑක්ශන් කිට්ස් කියන ජාතියත් ඕනෙ. ඊට අමතරව රෝගියාගෙන් වෛරස් එක රසායනාගාරයට ගෙනයන්න ඕනෙ කරන මාධ්‍ය සහ එය ලබාගන්නා උපකරණය තමයි වෛරල් ට්‍රාන්ස්පෝට් මීඩියා කියන්නෙ.  මේ දවස්වල වෙන්නෙ නෑ, මේ දවස්වල අපේ හදන්න යම් යම් බාධක තියෙන නිසා. මේ දවස්වල වෛරල් ට්‍රාන්ස්පෝට් මීඩියා වෙළඳපොලෙන් මිලදී ගැනීම තමයි සිද්ධ වෙන්නෙ. නමුත් මං දන්න විදියට ඇතැම් අවස්ථාවල විතරක් පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒත් දැනට සාම්පල් ගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා යැයිද VAT හිඟය සම්බන්ධයෙන් කියා සිටියේය.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන කරා රෝගීන් ගෙන යාමේදී ඇතැම් ස්ථානවල මතුවූ විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් “නිරෝධායනය කියන එකේ පරමාර්ථය කාවවත් හිරකරලා තියාගන්න එක නෙවෙයි. ඒ වැරදි අවබෝධය ගන්න එපා. මහජනතාව තේරුම් ගන්න ඕනෙ, නිරෝධායනය කරන්නෙ ඔබේම පවුලේ සාමාජිකයින්ගේත් රටේමත් සුබසිද්ධිය තකා. මං දැක්කා ප්‍රවෘත්තිය අම්මා කෙනෙක් අරගෙන යන්න හදනකොට පුතෙක් විරුද්ධ වෙනවා, හැබැයි අම්මා ඒ ගෙදරම හිටියොත් එහෙම තව කෙනෙකුට බෝකරලා, අල්ලපු ගෙදරකට බෝ කරලා, ඒ ප්‍රදේශයට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මහජන සුබසිද්ධිය තකා තමයි ආසාදිතයෙක් වෛරස් තව කෙනෙක්ට බෝකරන්න පුළුවන් කෙනෙක් වෙන් කරලා තියාගෙන ඉන්නෙ ටික කාලයක්. ඒකෙ හිරකරලා තියාගෙන ඉන්නෙ නැහැ. එතන කන්න බොන්න තියෙනවා, ඉන්න පුළුවන්, දුරකථනය භාවිතා කරන්න පුළුවන්, වාතාශ්‍රය හොඳට තියෙනවා, කාමරේක දාලා ලොක් කරලා නැහැ. ගෙදරින් එහා වෙනත් ස්ථානයක වෙන් කරලා, තවත් කට්ටියට මේක බෝවෙලා ඉදිරියේදී වෙන්න තියෙන ව්‍යසනය වළක්වා ගැනීමයි මේ කරන්නෙ. ඒ නිසා නිරෝධායනයට යන ඕනෙ කෙනෙක්ට සියලු ආරක්ෂාව හම්බවෙනවා. බොහෝවිට ආරක්ෂාව අතින් ගත්තාම නිරෝධායන මධ්‍යස්ථානය නිවසට වඩා ආරක්ෂිතයි. ගෙදරදි කොරෝනා ආසාදිතයෙක් ඉන්නකොට හදිසියේ අමාරු වුණොත් රෝහලකට ගෙනියන්න ඇම්බියුලන්ස්, රෝහල්වල ඉඩකඩ වගේ ගැටළුවක් ඇති වෙන්නත් පුළුවන්, එතකොට පරක්කු වෙන්නත් පුළුවන්. නමුත් නිරෝධායන මධ්‍යස්ථානයක හිටියොත් ඒ වෛද්‍ය ප්‍රතිකාර සියල්ල ඉතාම කඩිනමින් කරන්නත් පුළුවන්. ඒ නිසා මං මහජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ මේ වෛරස් ආසාදනය තියෙන කෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානයකට යන එක එයාගෙම ආරක්ෂාවට, රැකවරණයට වඩාත් වැදගත් වෙනවා කියන එකයි” යනුවෙන් ඒ මහතා පැවසීය.

මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ අද (30) උදෑසන හිරු ටී.වී  රූපවාහිනී නාලිකාවේ  වැඩසටහනක් හා සම්බන්ධ වෙමිනි.

Social Sharing
නවතම