සජිත් ආණ්ඩුවට තුනෙන් දෙක හදා දෙයි!

ජනපති, අගමැති රාජපක්ෂ සොහොයුරන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ට පාර්ලිමේන්තුවේ  මේතාක් අහිමිව තිබු තුනෙන් දෙකක බලය සකස් කර දීමට විපක්ෂ නායක කටයුතු කර තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ඔක්තෝබර් 29 බ්‍රහස්පතින්දා කතානායක වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ සමගි ජන බලවේගයෙන් නෙරපන ලද මන්ත්‍රීවරුන් නම දෙනාට  ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන ලෙසයි.

“පහත නම් සදහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් තිරණය කොට ඇති අතර ඔවුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලමි. ” එම ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

ඒ අනුව ඩයනා ගමගේ, අරවින්ද කුමාර්, ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම් හාරිස්, එම්.එස් තවුෆික්, නසිර් අහමඩ්, ඒ.ඒ.එස්.එම් රහීම් හා එම්.එම්.එම්. මුෂාරෆ් යන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු නියෝජිතයන් එම පක්ෂයෙන් නෙරපා තිබේ.

ඔවුන් පක්ෂයෙන් නෙරපීමට හේතුව කුමක්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කතානායකවරයාට යොමු කළ ලිපියේ සදහන්ව නැත.

විසි  වැනි ව්‍යවස්ථා සංශෝධනයට  පක්ෂව ඡන්දය ලබා දුන් තම පක්ෂයේ  මන්ත්‍රීවරු නම  දෙනා  සිය කණ්ඩායමෙන් නෙරපීමට කටයුතු කරන බව  සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස  පසුගියදා පවසා තිබුනි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී විසි වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අත්සන් තබා තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීම

 

Social Sharing
නවතම