දුමින්ද සිල්වාගේ හෙට දවස?

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමේ උණුසුමත් සමඟ එහි තවත් සුවිශේෂි දෙයක් සිදු විය. ඒ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර මේ වන විට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් පිරිසක් විසින් ලිපියක් අත්සන් කිරීමය. මෙහි විශේෂත්වය වනුයේ එකී ලිපිය සදහා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 05 දෙනෙකුද අත්සන් තැබීමය.

මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදි දැඩිව කියා සිටියේ ද දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බවය. මෙය රංජන්, පද්මිණි, ශානිලා ගහපු ගේම් එකක් බව ඔහු චෝදනා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පවසන්නේ මරණ දඬුවම නියම කර දැනට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා එම දඬුවම් නිදහස් කර සමාජගත කළ යුතු බවය. අදාළ ඝාතනය සිදුවන අවස්ථාවේ දුමින්ද සිල්වා මත්පැන් කර පානය කර සිටි ඇති බවද මන්ත‍්‍රීවරයා විසින් සිය මතය දක්වමින් නිකුත් කර ඇති නිවේදනයේ  දැක්වෙයි.

දුමින්ද සිල්වා මේ වන විටත් වසර පහක කාලයක් සිර දඬුවම් විඳ ඇති බවත් තමන් මානව හිමිකම් වෙනුවෙන් පිළිබඳව නිරතුරුවම පෙනී සිටින දේශපාලනඥයෙකු වශයෙන් දකින්නේ තරුණයන් දීර්ඝ කාලයක් සිරගත කළ යුතු නැති බවද ඔහු පවසයි. එනිසා වසර පහක් සිර දඩුවම් විඳ ඇති නිසා දුමින්ද සිල්වා පුනරුත්ථාපන වී ඇතැයි තමන්ගේ විශ්වාසය යැයි ද එම නිවේදනයේ දැක්වෙයි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ලැබී ඇති අධිකරණ තීන්දුව නැවත විවරණය කිරීමෙන් නිවැරදි කිරීමේ හැකියාවක් තිබිය හැකි බව ර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසා ඇත.

වැරදිකාරයෙක් නීතියෙන් ගැලවී සිටීමට වඩා නිවැරදි කාරයින් දඬුවම් විඳීම අපරාධයක් බවද දුමින්ද සිල්වාට එරෙහිව පැවති නඩුවේ විනිශ්චකාරවරුන් දේශපාලඥයන් සමඟ සාකච්ඡා කළ ආකාරය පසුගියදා සාක්ෂි සහිතව හෙළි වී ඇති හෙයින්  එම සාකච්ඡාවන් අදාල නඩු තීන්දුවට බලපෑවේදැයි  විමර්ශනයක් කිරීම සුදුසු බව තම මතය යැයි ද ඔහු කියා ඇත.

2011 ඔක්තෝම්බර් 08 වෙනිදා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මහධිකරණය විසින් මරණීය දණ්ඩනය  පනවන ලදි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරුවේ, 2015 වසරේ මාර්තු මස 03 වෙනිදාය. එහිදී, නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කරනු ලැබූ අධිචෝදනා සංඛ්‍යාව 17 ක් විය. මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා රැසක් ඊට ඇතුළත් විය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබුවේ, 2015 අගෝස්තු මස 04 වෙනිදාය. මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වූ අතර සෙසු විනිසුරුවරුන් ලෙස පද්මිණී රණවක ගුණතිලක සහ M.C.B.S මොරායස් පත් කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධ නඩු විභාගය 2015 වසරේ අගෝස්තු 06 වෙනිදා කොළඹ මහාධිකරණයේදී ආරම්භ වූ අතර, විත්තිකරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මොවුන්ට නඟා තිබූ චෝදනා වූයේ, 2011 ඔක්තෝබර් මස 08 වෙනිදා අංගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමකට සම්බන්ධ වී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම, රාජු උරුගේ ගාමිණි නමැත්තා ඝාතනයට තැත් කිරීම, එදින ඡන්දය භාවිත කිරීමට පැමිණ සිටි පිරිස ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බිය ගැන්වීම, නීති විරෝධී රැස්වීමකට සම්බන්ධවීම යනාදී කරුණුය. අදාළ සියලු චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණය හමුවේ කියා සිටියහ. එහිදී පැවති දීර්ඝ විමර්ශනයකින් අනතුරුව 2016- 09-08 දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා මරාදැමීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම විය.

මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කිරීමෙන් පසු එම තීන්දුව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කලද එහිදීද එම තීන්දුව අනුමත විය. ඒ හේතුවෙන් එකී දඬුවම ක්‍රියාත්මක වන තෙක් මේ වන විට දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටී.

දුමින්ද සිල්වාට ඒ වන විටත් ළමා අපචාර සිද්ධියක් හා රංගන ශිල්පි අනර්කලී ආකර්ෂා හා ඇගේ මවට මරණිය තර්ජන කිරිම සම්බ්නධව චෝදනා ලැබ සිටි අයෙකි.

කෙසේ නමුදු දුමින්ද සිල්වා නිදහස් කිරිමක් ගැන ගිය ආණ්ඩුවේද රාවයක් පැතිර ගියාය. ඒ සම්බන්ධයෙන් 2019- 01- 22 දා භාරත ලක්ෂ්මන් මහතාගේ දියණිය වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී කථා කර තිබුණේ මෙසේය.

“දුමින්ද සිල්වාට  ජනාධිපති සමාව දිය යුතුයි කියලා මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් අත්සන් ලබාගන්න වැඩපිළිවෙලක් යනවා. ජනාධිපතිවරයාගේ නියෝග මත එහෙම කරාවා කියලා ඔවුන් පවසනවා. ඒ සම්බන්ධයෙන් මට හොද සාක්ෂි තිබෙනවා. පෙරවාරි 04 දා ජනාධිපති සමාව දෙන්න ජනාධිපතිවරයාට අදහසක් තිබෙනවා කියලා තමයි ඒ අය කියන්නනේ. එහෙම දෙන්න අදහසක් ජනාධිපතිතුමාට තියෙනවා නම් අනිත් සිරකරුවන්ටත් එහෙම නිදහස දෙන්න වෙනවා. මම මේ කතාකරන්නේ මගේ පියා ඝාතනය කිරීම ගැන පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මේක පොදු ප්‍රශ්නයක්. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියක්  නැති කමට අපි මොකද කරන්න ඕන. 2015 ජනවරි 08 දා මේ වගේ පුද්ගලයෙක් ජනාධිපති කරන්න මම කළ කැපවීම ගැන මම කණගාටුවෙනවා. ව්‍යවස්ථා කුමන්ත්‍රණය කරපු ජනාධිපතිතුමා දුමින්ද සිල්වාට ජනාධිපති සමාව නොදෙයි කියලා මට විශ්වාස කරන්න බැහැ. ජනාධිපතිවරයෙක් මිනිස්සුන්ට එපාවෙන්නේ දෙවැනි වාරයේදී කටයුතු කරද්දී. නමුත් මෛත්‍රිපාල සිරිසේන මහත්මයා තමයි ජනාධිපතිවරයාගේ පළමු කාලයයේදී ජනතාවටම එපාවුණ කෙනා. ජනාධිපති සමාව දෙන්නනම් නීතිපති නිර්දේශය සහ අධිකරණ අමාත්‍යතුමියගේ නිර්දේශ අවශ්‍යයි. අධිකරණ ඇමතිතුමිය කොන්දක් තියෙන ඇමතිවරියෙක්  කියලා මට විශ්වාසයි. එතුමිය සල්ලිවලට නැවෙන කෙනෙක් නෙවෙයි.” (නිමාව)

ඒ රජයෙන් දුමින්ද සිල්වා නිදහස් නොකළද ඉවෝන් ජොන්සන් නමැති ළාබාල තරුණිය ඝාතනය කිරීමේ වරදට මරණ දඩුවම හිමිව තිබූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති වරදකරුට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ජනාධිපති සමාව ලබා දුන්නේය.

එලෙස දුමින්ද සිල්වාටද මේ රජයෙන් ජනාධිපති සමාව  බලාපොරොත්තු  වන්නේය. මේ වන විට දුමින්ද සිල්වාගේ නමින් මුහුණු පොතේ පිටුවක්ද ඇති අතර එය නිරන්තරයෙන් යාවත්කාලීන වේ. එහි සඳහන් වන්නේද ඔහු නිදහස් කර ගැනීමේ කටයුතු පිලිබඳවය.

කෙසේ නමුදු දුමින්ද සිල්වාගේ අනාගතය රැඳි පවතින්නේ ජනාධිපතිවරයාගේ තීරණය මතය.

-ශානිකා-

Social Sharing
නවතම