“සෞඛ්‍ය සේවයේ වැඩ බැරි ටාසන්ලා ඉවත්කරන්න” මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අනතුරු අඟවයි!

නව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල ආරම්භ වී දැන් මසක් සම්පුර්ණ වීමට ආසන්නය. ඒ කාලය තුල බොහෝ රෝගීන් පිරිසක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාවද ඉහළ ගියහ.

නමුත් මෙම නව කොරෝනා වෛරසය ප්‍රථමවරට මෙරට වාර්තා වූ විට සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සියලු දෙනාගේ දැඩි කැපවීම මත එය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට හැකි විය. එහිදී සෞඛ්‍ය අංශයේ කිසිවෙකුත් මෙම වෛරසයට ගොදුරු නොවූ අතර ඊට ගොදුරු වුයේ ආරක්ෂක අංශ සමාජිකයින් පමණි. එය සිදු වුයේද ජා ඇල – සුදුවැල්ලේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් නිරෝධායනයට ගෙන යන අවස්ථාවේදීය.

මාස දෙකකට වැඩි කාලයක් රට වසා තබා රෝගය පාලනය කිරීමට හැකිවීමෙන් පසු රටේ ජන ජිවිතය යථා තත්ත්වයට පත් වන්නට පටන් ගත් අවස්ථාවේම නැවත දෙවන රැල්ල නිර්මාණය විය. මෙහිදී මේ වන විට සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන්, හෙදියන්, සුලු කාර්යය මණ්ඩලය ඇතුලු බොහෝ දෙනෙක් මේ වෛරසයට ගොදුරුව ඇත. විශේෂයෙන්ම පුද්ගලයින්ගේ PCR සිදු කළ නිලධාරීන්ද මෙම වෛරසයට ගොදුරු විය.

මෙයට හේතු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවර රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට දරණ ඇල්මැරුන ස්වරූපය නිසාද? යන්න බොහෝ දෙනෙකුට සැක මතු වී තිබුණි.

මේ වන විට මේ රෝගීන් වෙනුවෙන් පැය විසි හතර පුරා වෙහෙසි වැඩ කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට නිසි සෞඛාරක්ෂිත පහසුකම්, හෙද හිඟය, නවාතැන්, ආහාර, ප්‍රවාහනය පිලිබඳ විවිධ ගැටළු මතු වී ඇත. නමුත් ඔවුන්ට මේවා කථා කිරීමට, දැන්වීමට ඊට කන්දෙන  අදාල බලධාරියෙකු නැති වීම නිසා ඔවුන් දැඩි පීඩාවට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද අවස්ථා හතරකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියව දැනුවත් කර ඇති නමුත් ඒ සෑම අවස්ථාවකම චක්‍ර ලේඛයක් පිට වීම විනා කිසිදු පිළිතුරක් ලැබී නොමැත. ඒ නිසා මේ වන විට ඔවුන් වෘත්තිය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීම පිලිබඳවද රජයට රතු එළි දල්වා ඇත.

අද සෞඛ්‍ය සේවයේ ඉහළ පුටුවල සිටින්නේ වැඩ බැරි ටාසන්ලා බවත් ඔවුන් නිකුත් කරන චක්‍රලේඛ තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැති තත්ත්වයකට පත්ව ඇතැයිද පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. ඒ නිසා මේ වැඩබැරි ටාසන්ලා ඉවත් කර සේවකයෙකුට, නිලධාරියෙකුට ගොස් දුක කිව හැකි නිලධාරියෙකු පත් කරන ලෙසත් නැතිනම් ඉදිරි පැය 48 තුල දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වෙන බව ද උන්වහන්සේ අවධාරණය කර සිටියි.

-ශානිකා-

Social Sharing
නවතම