අධිවේගී විදුලි දුම්රිය හා අපි!

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සිට කොළඹ වරාය නගරය දක්වාත්, කටුනායක සිට මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ දක්වාත් විද්‍යුත් අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් ආයෝජන මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව පහුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම වාර්තාවට අනුව ආයෝජන මණ්ඩල අනුමැතියත් සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් වෙන්කෙරෙන මෙම ව්‍යාපෘතියට අදාළ පුළුල් ශක්‍යතා අධ්‍යයනයක් ආරම්භ කිරීමට නියමිතය.

ආයෝජන මණ්ඩල වාර්තාවලට අනුව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ මීට පෙර වසර 10කට පමණ පෙරය. අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතියට අදාළ සැලසුම් බාධාවකින් තොරව ක්‍රියාත්මක වුවහොත්, ව්‍යාපෘතිය 2022දී ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ පුළුල් ආර්ථික හා තාක්ෂණික අධ්‍යයනයක් සිදුකිරීමට පෞද්ගලික උපදේශන ආයතනයක් වෙත පැවරීමට නියමිත අතර ඊට අදාළ ගිවිසුම මේ සතියේදී අත්සන් කිරීමට නියමිතය. මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ සභාපති ආචාර්ය පරිමලම් මයිකල් සඳහන් කරන ආකාරයට මීගමුවේ සිට කොළඹ වරාය නගරය දක්වාත්, දෙවන අදියරේ ගාල්ල සහ මාතර නැවතුම් ස්ථාන දෙකක් සහිතව මත්තල ගුවන්තොටුපොළ දක්වාත් ඉදිකිරීමට යෝජිතය. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් (public – private partnership -PPP) යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.

ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා කිලෝමීටර් 53 ක් සඳහා ඩොලර් බිලියන 1.7 ක් වැය වන අතර දෙවන අදියර සඳහා තවත් ඩොලර් බිලියනයක් එකතු වේ.

2022 වන විට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ ක්‍රියාත්මක වන විද්‍යුත් අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන අතර අදියර දෙකක වැඩසටහන අනුමත වුවහොත් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.7 ක ආයෝජනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

දකුණු කොරියාවේ දෙවන විශාලතම බැංකුව වන ෂිනන් බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා යුරෝ මිලියන 200 ක් අරමුදල් සැපයිය හැකි බව පවසා තිබේ.

නමුත් මෙහිදී ජනතාවට පැන නගින ප්‍රධාන ගැටලුව වන්නේ වර්තමානයේ ධාවනය වන දුම්රියන් වල නඩත්තුව, කාර්යක්ෂමතාවය, දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීම, දුම්රිය ප්‍රමාදය වළක්වා ගැනීමට නොහැකිව තිබියදී මෙලෙස විද්‍යුත් අධිවේගී දුම්රියක් තැනිමට යෝජනා වන්නේ ඇයිද යන්නය.

ඈත අතීතයේ විදේශිකයින් මෙරට කල් ගෙවු සමයේ ඔවුන් වඩාත් නැඹුරු වූ කර්මාන්ත වුයේ තේ හා කෝපි වගාවය. එමෙන්ම රබර් වගාව පිලිබඳවද අවධානය යොමු කළ ඔවුන් මෙරට වගා කර විදේශයට යැවීමෙන්  වැඩි ආදායමක් ලබා ගත්හ. කොළඹ වරාය කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ මෙම ගණුදෙණු නිසා විශේෂයෙන්ම උඩරට පළාතේ වගා කළ තේ, කෝපි  කොළඹට ගෙන ඒමට ඔවුන්ට විශාල ශ්‍රමයක් දැරීමට සිදුවිය. ඒම බඩු ප්‍රවාහනය කිරිම සඳහා පසුකලෙක මෙරට සිටි විදේශිකයින් මහනුවර සිට කොළඹට දුම්රිය මාර්ග, මහා මාර්ග තැනීය.  ඒ අනුව මෙරට ප්‍රවාහන පද්ධතිය දිවයින පුරා විහිදී ගියහ.

නිෂ්පාදනයට සමගාමීව ඔවුන් මාර්ග සංවර්ධන කටයුතු වල යෙදුන නිසා  ඉන් ඔවුන්ගේ ආදායමට බලපෑම් එල්ල වුයේ නැත. නමුත් විවිධ රජයන් බලයට පත් වන විට මෙම තත්ත්වය වෙනස් විය. රටට, රටේ ආදායමට ඔරොත්තු නොදෙන ණය විදේශයෙන් ගෙන මාර්ග තැනීය. ඊට හොඳම නිදසුන වන්නේ  අධිවේගි මාර්ගය. කටුනායක සිට කොළඹට අධිවේගී මාර්ගයක් තැනීම කාලෝචිතය. ඒ ජාත්‍යන්තර ගුවන්තොටුපල එහි තිබීම නිසාය. නමුත් දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීම තුලින් ජනතාවට කිසිදු ආදායමක් හිමිවන්නේ නැත. විශේෂයෙන්ම මේ තුලින් සිදු වුයේ ජනතාවට තිබු ආදායමත් අහිමි වී යාමය.

වෙනදා කොළඹ සිට කතරගම දක්වා ප්‍රධාන මාර්ගයේ ගමන් කළ ඇත්තෝ අද කතරගම, ගාලු යන්නේ අධිවේගය හරහාය. වෙනදා කොළඹ සිට කතරගම දක්වා ඇති  ප්‍රධාන මාර්ගයේ දෙපස කුමන හෝ දෙයක් මහමඟ තබාගෙන එහි ගමන් ගන්නා අයට අලෙවි කර ආදායමක් උපයාගෙන ජිවිතය ගැට ගසා ගත්තවුන් මේ නිසා ඇදවැටුනේ කබලෙන් ලිපටය. එමෙන්ම කතරගම දක්වා විනෝද චාරිකා යන අයද වෙනදා අතරමඟ ගිමන් නිවාගෙන, බෙලිමල් කෝප්පයක් බී ගියද දැන් පැය කිහිපයකින් කතරගමට ළඟා වෙන්නේ මේ අධිවේගි මාර්ගය නිසාය. රටකට අධිවේගි මාර්ග තිබිම වරදක් නැත. එහෙත් ඒවා ණය වී තැනීම ලංකාව වැනි රටකට සුදුසු වන්නේ නැත.

මේ වන විට ලංකාව දැඩි ණය අර්බුදයකින් පිඩා විඳිමින් සිටින්නේය. එවන් පසු බිමක තම රටට ඔරොත්තු නොදෙන සංවර්ධන ව්‍යාපෘති වලට අත තැබීම ලංකාවේ ජනතාව තව තවත් ණය උගුලක සිර කිරීමකි. එමෙන්ම වත්මන් දුම්රිය ගැටලු රැසක් මහජනතාව ඉදිරියේ  තිබියදී අධිවේගී විදුලි දුම්රිය ඔවුන්ට සිහිනයක් වනු නොඅනුමානය.

-ශානිකා-

Social Sharing
නවතම