පොම්පියෝ ආවේ ඇයි කියලා අහන්න ඕන ඔහුගෙන්ම තමා! – අමාත්‍ය නාමල් රාජපක්ෂ

තම රජයේ ඩීල් එක පවතින්නේ ජනතාවත් සමග බවත් ජාත්‍යන්තරය සමග කිසිදු ඩීල් එකක් නැති බවත් නොබැදි පිළිවෙත අනුගමනය කරන බවත් කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ  අද (28) පොලොන්නරුවේ දී පැවති වැඩසටහනකින් අනතුරුව  මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කිසිම රටකට යටත් නොවන නොබැදි පිළිවෙත අනුව කටයුතු කරන බව පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බව ද පැවසීය. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය.

මාධ්‍යවේදීන්:

අමෙරිකානු රාජ්‍ය ලේකම්තුමා ලංකාවට ඇවිල්ලා තිබෙනවා. විරුද්ධ පක්ෂය විවිධ මත පළ කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය කුමක් ද?

නාමල් රාජපක්ෂ මහතා:

” විරුද්ධ පක්ෂයට කිසිම මතයක් නෑ කියන එකයි කියන්න තියෙන්නේ. මොකද ඔය විරුද්ධ පක්ෂය පහුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කාලයේ, සිරිසේන මහත්තයගේ ආණ්ඩු කාලයේ අමෙරිකාවේ එක්කෙනෙක් ආව වෙලාවේ ඒක ලොකු රාජ තාන්ත්‍රික ජයග්‍රහණයක් විදිහටයි පෙන්නුවේ. එදා රාජ තාන්ත්‍රික ජයග්‍රහණයක් විදිහට පෙන්නපු අය තමයි අද මේ විදිහට කළබල වෙලා කෑ ගහන්නේ. ඒ හින්දා එතුමන්ලාට කියන්න තියෙන්නේ එතුමන්ලාගේ කාලේ වගේ හැංගි හොරා රාජ්‍ය නායකයෝ හම්බ වෙන්න ඕන නෑ අපට. මොකද අපේ ඩීල් එක තියෙන්නේ රටේ ජනතාව එක්ක. ජාත්‍යන්තරය එක්ක අපේ ඩීල් එකක් නෑ. හැබැයි එක්සත් ජාතික පක්ෂය දැන් ඔය කියන විපක්ෂය එක්ක තමයි ජාත්‍යන්තරය ඩීල් දැම්මේ.මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක් කරනවා. හොඳයි. ඔය උද්ඝෝෂණයම පහුගිය ආණ්ඩු කාලේ අමෙරිකාවෙන් එන කොට කළා නම් ඉවරයි. හැබැයි දැන් කරන්නේ ඇයි. එතකොට සද්දේ වහලා ඉදලා. ඒක හින්දා එක්සත් ජාතික පක්ෂයට සජිත් ප්‍රේම දාස මහත්තයාට ජනතා විමුක්ති පෙරමුණට ඕන දෙයක් කියන්න පුලුවන්. හැබැයි අපේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ. නොබැදි විදේශ ප්‍රතිපත්තියක් අපට තියෙන්නේ. ඒ නොබැදි විදේශ ප්‍රතිපත්තිය අනුව ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඕන කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි ඒ අය එක්ක ගිවිසුම් ගත වෙනකොට අපි අපේ ප්‍රතිපත්ති මත කටයුතු කරන්නේ. ඉන් පිට යන්නේ නැ.

මාධ්‍යවේදීන්:

මයික් පොම්පියෝ මහතා තමයි MCC ගිවිසුමේ සභාපතිවරයා. මහා සංඝරත්නයත් මේ පිළිබදව විරෝධය පළ කරලා තියෙනවා?

නාමල් රාජපක්ෂ මහතා:

එතුමා ඇයි එන්නේ කියන එක එතුමාගෙන් අහන්න ඕන. ඒක එතුමා කියයි. එතුමා සාකච්ඡාවකට රාජ තාන්ත්‍රික වශයෙන් ආවාම ඉන්දියාවට යනවා. මාල දිවයිනට යනවා. ඒ අතරේ ලංකාවට ඇවිල්ල තියෙනවා. හැබැයි එක කාරණයක් මතක තියාගන්න වටහා ගත යුතු කාරණය තමයි ගෝලීය දේශපාලනය තුළ ලංකාව කොතරම් වැදගත් රටක් ද කියන කාරණය. පහුගිය දවස්වල අපි දැක්කා පොම්පේ මහත්තයා ලංකාවට එන කාරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තිබ්බා. පොම්පෙ මහත්තයත් ප්‍රකාශයක් කරලා තිබ්බා. මිලියන 22ක් ඉන්න අපේ රට කොතරම් ගෝලීය දේශපාලනයේ වැදගත් ද කියලා. එහෙම වැදගත් අපි එක රටකටවත් හිස නමන්න යන්නේ නෑ. සංඝ රත්නය සමග අපි එකඟ වෙනවා. නමුත් අපි ගිවිසුම් අත්සන් කරන්න යන්නේ නෑ. කෙනෙක් එනකොට අපට එන්න එපා කියන්න බෑ නෙ. එන්න එපා කියන එක වැරදියි. නොබැදි විදේශ ප්‍රතිපත්තියට යක් තියෙනවා නම් ඔය කියන ඕන කෙනෙකුට එන්න පුලුවන්. හැබැයි  ඔය කියන ගිවිසුම්වලට යටත්ව අපි ඒ අය හම්බ වෙන්නේ  නෑ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැහැදිලිව මේ ප්‍රකාශනය කරලා තියෙනවා. අපි ගරුතර මහා සංඝරත්නයේ මතයට හිස නමනවා.”

ඊෂා  මුදියන්සේ -පොලොන්නරුව

 

Social Sharing
නවතම