නීතිපති “බ්‍රැන්ඩික්ස් පොකුර” ගැන පොලිසියෙන් වාර්තාවක් කැඳවයි.

මේ වන විට දෙවැනි රැල්ලේ කොවිඩ් රෝගීන් 5000 ට ආසන්න වී ඇත. මරණ 19 කි. අද (27) දිනට පමණක් මරණ තුනකි. කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්ක වල අධි අවදානම් ප්‍රදේශ රැසක් ඇති බවට මේ වන විවිටත් සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත. මුලු දිවයිනේම පොලිස් බල ප්‍රදේශ 64 ක් තවමත් පවතින්නේ පොලිස් නිරෝධායන ඇඳිරි නීතියට යටත්වය.

මිනුවන්ගොඩින් ආරම්භ වු මෙම කොවිඩ් රැල්ලට අමතරව  මේ වන පෑලියගොඩ කොවිඩ් පොකුරක්ද  නිර්මාණය වී තිබේ. මේ නොපෙනෙන වෛරසය  දිස්ත්‍රික්ක රැසක් ඇතුලු මෙරට අගනුවරද ආක්‍රමණය කරමින් සිටියි. මෙවන් පසුබිමක් තුල පහුගියවර මෙන් මුලු රටම වැසීමට රජය තවම තීරණයක් ගෙන නැත. ඒ මෙරට ආර්ථිකය  රඳා පවත්වා ගැනීමටත්, ජනතාවගේ දෛිනක කටයුතු පවත්වාගෙන යාමටත් අවැසි  නිසා බව පැවසේ.

මේ අතර අද (27) දින නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට නියෝගයක් ලබා දී ඇත. ඒ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙසය. එමෙන්ම එම වාර්තාව සති දෙකක් තුල නීතිපතිවරයාට ලබා දෙන ලෙසද නියෝග කර ඇත.

නමුත් ඊයේ (26) දිනපතා අරුණ පුවත්පත් වාර්තා කර තිබුණේ මෙම ව්‍යාප්තියේ මුල රාජ්‍ය ඔත්තු සේවය විසින් සොයා ගෙන ඇති බවත් ඒ පිලිබඳ වාර්තාව ජනාධිපතිවරයාට ලබා දී ඇති බවත්ය. එම පුවතට අනුව මෙම කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භය බ්‍රැන්ඩික්ස් ආයතනය නොවන අතර ඒය සීදුවේ හෝටලයක් නිසා ව්‍යාප්ත වුවකි. එමෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන් වූ අයගෙන් මෙම වෛරසය ව්‍යාප්ත වුවා යැයි කෙරෙන චෝදනාවද ඒ අනුව ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙම පුවත සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින්ද පිළිගැනීමට නොහැකි බව ඊයේ දින අප කළ විමසුමකදී කියා සිටියේය. එමෙන්ම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාවත් එම පුවතේ සත්‍ය අසත්‍යතාවය  තවමත් තහවුරු කර නොමැත. එවන් පසුබිමක් තුල අද දින නීතිපතිවරයා පොලිසියෙන් මෙලෙස වාර්තාවක් කැඳවා තිබුණි.

-ශානිකා-

Social Sharing
නවතම