ශක්තිමත් නායකයා රනිල් ද, සජිත් ද? දැන් තේරුම් ගන්න පුළුවන්

රාජපක්ෂ ආණ්ඩුවත් සමඟ ඩීල් ඒකක් රනිල් වික්‍රමසිංහගේද නැතිනම් සජිත් ප්‍රේමදාසගේද යන්න මෙවර සම්මත වු 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පෙනී යනවා යැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායකයාටත්, එක්සත් ජාතික පක්ෂයටත් දිගින් දිගටම පහර දුන් කාරණා දෙකක් වන්නේ පක්ෂ නායකයා දුර්වලයි, පක්ෂය ශක්තිමත් නැහැ කියන කාරණය බවත් ඒ නිසා ශක්තිමත් නායකයෙක් අවැසි බව කියමින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජනබලවේගය පිහිටුවා ගත් බවද ඔහු පවසයි.

මේ ශක්තිමත් විපක්ෂයේ බලය කොච්චරද කියලා 20 වෙනි සංශෝධනයේදී මුලු රටම, මුලු ලෝකයම දුටු බවත් විශේෂයෙන්ම මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට ඒකාධිපතිත්වයට ගෙන යන ව්‍යවස්ථාවක් බව අප මුල සිටන්ම පැහැදිලිව පැවසු අතර පාලකයා ඒකාධිපතිවරයෙක් වීමට තීන්දු කළහොත් ඒ තීන්දුවත් සමඟ පීඩනය ඇති වෙන්නේ රටේ සමස්ත ජනතාව වන දෙකොටි විසිලක්ෂයට බවද ඒ මහතා කියයි.

එක්සත් ජාතික පක්ෂය දුර්වල කරමින්, පක්ෂය දෙකඩ කරමින් කුලියට ගත් පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වූ සජිත් ඇතුලු කණ්ඩායම සිදු කළ මේ ප්‍රජාත්‍රන්තවාදයට හානිකර ක්‍රියාදාමය තුල අනාගතයේදී රටේ ජනතාවට භයංකාර තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුවහොත් ඊට සමගි ජනබලවේගයේ සියලු දෙනාට වගකියන්න සිදු වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි රංගේ බණ්ඩාර මහතා පවසයි.

සජිත් ඇතුලු පිරිස පැවසුයේ ඩීල් නැති, කෙලින් සිටිය හැකි විපක්ෂයක් හදන බව නමුත් දැන් ඔවුන්ගේ දක්ෂතාවය කොපමණද කියා දුටුවා යැයිද පවසන ඒ මහතා කියා සිටින්නේ  දුර්වල නායකයෙක් බව කියු රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2015 ආණ්ඩුවක් පිහිටුවද්දී එක්සත් ජාතික පක්ෂයට සිටියේ මන්ත්‍රිවරුන් 47 කු පමණක් බවය. එහෙත් පළමු අයවැයෙන්ම ජනතාවට ආර්ථික සහන රැසක් ලබා දීමට මේ දුර්වල නායකයාට හැකි වූ බවද ඔහු පෙන්වා දෙයි. එමෙන්ම ඒදා රටේ ප්‍රජාත්‍රන්තවාදය තහවුරු කරමින් ගෙන ආ 19 වෙනි සංශෝධනයටද පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 225 නාගෙන් 224 ක්ම සහාය ලබා දුන් බවද ඔහු සිහිපත් කරයි. ඒ දුර්වල යැයි පැවසු නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දක්ෂතාවය බවත් ශක්තිමත් නායකයා යැයි කියු සජිත් සමඟ 54 කු පාර්ලිමේන්තුවට ගියත් ඔහුට 20 වෙනි ව්‍යස්ථා සංශෝධනය සම්මත වීම වළක්වා ගැනීමට නොහැකි වූ බව පෙන්වා දෙයි.

150 ක් නොතිබියදිත් සජිත්ගෙන් අටක් ලබා ගැනීම තුලින් පෙනී යන්නේ ශක්තිමත් නායකයා සජිත්ද නැතහොත් එදා මන්ත්‍රිවරු 47 නාගෙන් අයවැය සම්මත කරගත්, 19 වෙනි සංශෝධනය සම්මත කර ගත් රනිල් වික්‍රමසිංහ ද යන්න පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රශ්න කර සිටියි.

-ශානිකා-

Social Sharing
නවතම