කපුටෙකුට ඔලුව උඩින් පියාඹන්නට ඉඩ දුන්නද, ඔලුව උඩ කූඩු ගහන්න නම් දෙන්නේ නෑ

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත  වාද විවාද මධ්‍යයේ ඉකුත් 22 දා සංශෝධන සහිතව සම්මත වුයේ 2/3 ක බහුතර ඡන්දයකිනි. මෙම 20 වෙනි ව්‍යවස්ථා  සංශෝධනයේ ඇතැම් ස්ථාන, වගන්ති සංශෝධනය විය යුතු බව පුජ්‍ය පක්ෂ හා ආගමික නායකයින් තරයේම ප්‍රකාශ කර සිටි අතර ඒ අනුව වගන්ති කිහිපයක් පමණක් සංශෝධනයට ලක් කිරිමටද රජය පියවර ගෙන තිබුණි. නමුත් ඉල්ලු සියලු සංශෝධන සිදු වුයේ නැත.

ඉකුත් 22 දා පනත් කෙටුම්පතට අදාලව  සිදු කළ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච් එම් එම් හාරිස්, සහ එම් එස් තවුෆික්, මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ ඒ එස් එම් රහීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ ද්‍රවිඩ මහජන පෙරමුණේ අරවින්ද් කුමාර් සහ සමගි ජන බලවේගයෙන්ම ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ඉෂාක් රහමාන් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිතා කර තිබුණි. මෙය සමාජයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වු අතර මේ නිසා සමගි ජනබලවේගය තුල අර්බුදයක්ද නිර්මාණය විය.

කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් දේශය සුරැකීමේ සංවිධානයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසා සිටින්නේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 20 ට සහාය පළ කරමින් ඡන්දය දීම පිලිබඳ, ඊට එකතු වීම පිලිබඳ සැකයක් පවතින අතර ඕනෑම කපුටෙකුට ඔලුව උඩින් පියඹා යන්නට ඉඩ දුන්නද ඔලුව උඩ කූඩු ගහන්න නම් දෙන්නේ නැති බවත්, ඒ නිසා ඒ පිලිබඳ අවධානයෙන් සිටින බවත්ය.

තමන් ඇතුලු මහා සංඝරත්නය, ආගමික නායකයින් ඉල්ලු සංශෝධන මෙවර ඇතුලත් වීම ගැන කථා කළ උන් වහන්සේ පවසන්නේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වගන්තියද ඊළඟ ව්‍යවස්ථාව සකස් කිරිමේදී ඉවත් කරන බවට ජනාධිපතිවරයා තමන්ට පුද්ගලිකවම පොරොන්දු වූ බවය.

මහා සංඝරත්නය කියු දේවල් වලට පයින් ගසා 20 සම්මත කර ගත් බවට විපක්ෂය නඟන චෝදනාව සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු දැක් වූ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසන්නේ ඔවුන් උත්සහ කරන්නේ ඔවුන්ගේ මැච් එකේ පන්දුවක් කර ගන්න බවත් ඔවුන්ට විපක්ෂයක් ලෙස ඔවුන්ගේ පිරිසවත් රැක ගැනීමට නොහැකි නම් අපේ ඒවා කථා කරන්නේ කෙසේද යන්නය.

20 තියෙන භයානකකම් අඩු කරනකම් අපේ සටන ඒ විදිහටම ගෙන යන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද පවසා සිටියි. මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් මෙය දිනාගත් ඒක සමාජයේ ලොකු සැකයක් මතුව ඇතැයිද මේ ගැන සතුටු විය නොහැකි යැයිද උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටින්නේය.

-ශානිකා-

Social Sharing
නවතම