පොලිස්පති වීමේ ඉලක්කය වෙනුවෙන් දේශබන්දු කරන්නේ රඟපෑමක්!

කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිඥ නාමල් රාජපක්ෂ හා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා හා නීතිඥ සේනක පෙරේරා පැමිණ සිටියහ.

මෙහිදී අදහස් දැක් වූ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ 2005 සිට 2015 දක්වා බන්ධනාගාර ගතව සිටි රැඳවියන් ආයුධ පෙන්නන්න කියා රැගෙන ගොස් ඝාතනය වූ හැටි දුටු බවය.  මේ දිනවල පාතාල මර්දනය හා මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට කියා ලොකු රඟපෑමක් දේශබන්දු තෙන්නකෝන් විසින් රඟපාන බවත් මීට හේතුව ඔහුගේ ඊළඟ ඉලක්කය මෙරට පොලිස්පති වීම බවද ඒ මහතා පවසයි. මධුෂ් සම්බන්ධයෙන් ඇති චෝදනා වලට අධිකරණය හරහා ක්‍රියාත්මක විය යුතුව තිබුණද අවසානයේ මධුෂ්ගේ නාටකය ලෝකයේ විහිළුවක් බවට පත් වූ බවද ඔහු පවසයි.

තවද නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.

“මෙවන් සිද්ධින් වලට මහේස්ත්‍රාත්වරුන් පවා යාන්ත්‍රිකව එහි ගොස් මෙය ස්භාවික මරණයක් යැයි කියනවාට වඩා මේ මරණය සැක සහිත බව පවසමින් මේ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවට නියෝග කළ යුතුයි.  ඒ් නිසා අපි ඉදිරියේදී අධිකරණ සේවා කොමිසන් සභාවට ඉල්ලීමක් කරනවා මේ වගේ ප්‍රහාරයකදී, ඝාතනයකදී හුදු පොලිසිය පවසන දේම පවසන්නේ නැතුව මේ ගැන සැකයක් ඇති වෙලා තියෙනවනම් ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියා නියෝග කරන ලෙසට.”

පොලිස්පති වීමේ ඉලක්කය වෙනුවෙන් දේශබන්දු කරන්නේ රඟපෑමක් පොලිස් අත්අඩංගුවේ සිටි රැඳවියෙකුට පිටස්තර පාතාල කල්ලි සාමාජිකයින් විසින් වෙඩි තබා ඝාතනය කරන්නේ නම් එහි වගකීම ගත යුත්තේ පොලිසිය බවත්, එම පොලිස් නිලධාරීන් අඩුම තරමේ වැඩ තහනමකට හෝ ලක් විය යුතු අතර තවම එසේ සිදු වී නොමැති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා පෙන්වා දෙයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ සුරේෂ් නන්දිමාල් මහතා  කියා සිටියේ මධුෂ් කියන පුද්ගලයින් උත්පත්තියෙන් වැරදිකරුවන් නොවන බවත් මේ සමාජ ක්‍රමය හරහා ඔවුන් වැරදිකරුවන් බවට පත් වෙන බවත් ඔවුන්ට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දෙනවා වෙනුවට කළ යුත්තේ නිසි පුනරුත්ථාපන වැඩපිලිවෙලක්  සකස් කර ඒ පුද්ගලයින් සමාජයට යහපත් පුරවැසියන් කිරීම බවත්ය.

නමුත් එසේ නොකර අද හිතුමතේ පොලිස් පාතාලයක් යොදාගෙන මාංචු යොදා සිටින මිනිසුන්ව අමු අමුවේ ඝාතනය කරනවානම්, බෝම්බ ගහන්න හැදුවා, වෙඩි තියන්න හැදුවා බොරු කියලා ඝාතනය කරලා, තමන්ගේ මතයට විරුද්ධ අය ඝාතනය කරලා, තමන්ගේ මතයට එකඟ මිනිස්සු ආරක්ෂා කරන රජයක්ද මේ තියෙන්නේ කියා සුදේශ් නන්දිමාල් මහතා ප්‍රශ්න කර සිටියි.

තමන්ගේ රජය අද පාතාලයක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට එරෙහි වීමට මේ රජයේ පුරවැසියන්ට අයිතියක් ඇති බවත් ඒ නිසා මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවත් එසේම මේ පිලිබඳ ජාත්‍යන්තරය දැනුවත් කිරීමටද කටයුතු කරන බව ඔහු පවසයි.

කුඩු ව්‍යාපාර කරන පාර්ලිමේන්තුවේ සිටින අයගේ තොරතුරු මධුෂ් හෙළිදරව් කරන බයට මෙලෙස ඔහුව ඝාතනය කළාද? කියා ඔහු විමසා සිටියි.

Social Sharing
නවතම