කොවිඩ් 19 පාලනයෙන් ගිලිහිලාද ?

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආරම්භ වු කොවිඩ් 19 වෛරසය මුල් අවස්ථාවේම ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 ක ඇඳීරි නීතිය පැනවීමට සමත් විය. පසුව ඒය කටුනායක දක්වා විහිදී ගිය අතර ඊයේ (22) වන විට මුලු ගම්පහ දිස්ත්‍රික්කයටම බලපෑම් කරනු ලැබීය.

මේ අතර කුලියාපිටිය, කලුතර, මඩකලපුව, පෑලියගොඩ, බෙලිඅත්ත, කහතුඩුව, මන්නාරම  ආදී රටේ විවිධ ප්‍රදේශ වලින්ද කොවිඩ් 19 වෛරසය ආසාදිත වුවන් වාර්තා වන්නට විය. ඒකී ප්‍රදේශ බොහෝමයක්ද මේ වන විට පවතින්නේ නිරෝධායන ඇඳීරිනීතියට යටත්වය. පසුගිය මාර්තු සිට ලංකාවේම කොවිඩ් ආසාදිතයින් 6,287ක් වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 2700 වාර්තා වන්නේ මේ දින කිහිපය තුළිනි. සීමිත කාලයක් තුල මෙලෙස රෝගීන් රැසක් වාර්තා වීම සුලුකොට තැකිය නොහැකිය. ඒහෙත් රජය පවසන්නේ තවමත් කොවිඩ් 19 වෛරසය සමාජගත වී නොමැති බවය.

ලංකාව පුරා මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින මෙම මාරාන්තික වෛරසය ගැන ජනතාවටද ඇත්තේ අවිනිශ්චිතභාවයකි. ඒ් සැබවින්ම මේ වාර්තා වන රෝගීන් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ වුවන්ද යන්නය.

අනවශ්‍ය කලබලවීමක් ඒපා

මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ කොවිඩ් 19 වෛරසය තවම සමාජගත වී නොමැති බවය. මේ වාර්තා වන සියලු දෙනා කුමන හෝ අයුරකින් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ බවද ඔහු කියා සිටියි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් මෙතෙක් හඳුනා ගත් ආසාදිතයන්ද මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ පුද්ගලයන් බව පවසන ඔහු කියා සිටින්නේ මෙම පොකුරට සම්බන්ධ නොවන ආසාදිතයන් තවමත් වාර්තා වී නොමැති බැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසය. ( https://www.lankanewsweb.net/sinhala/127-general-news/70802-වෛරසය-සමාජගත-වී-නැහැ-කිය)

බ්‍රැන්ඩික්ස් පොකුරට පෙර සිටම රටේ කොවිඩ් තිබිලා

මේ අතර ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (22) දින පුද්ගලික නාලිකාවක පැවති සාකච්ඡාවකදී කියා ඇත්තේ බ්‍රැන්ඩික්ස් පොකුරට පෙරම රටේ කොවිඩ් ව්‍යාප්තිය තිබු බවට යම් යම් සාධක අනාවරණය වෙමින් පවතින බවය. ඒමෙන්ම  දැන් තවදුරටත් ප්‍රධාන පොකුරෙන් බැහැරව මෙවැනි අනු පොකුරු කිහිපයක් වාර්තා වෙමින් තිබෙන අතර ඉදිරියේදී මෙවැනි තවත් අනු පොකුරු වාර්තා වීමේ අවදානමක් තිබෙන බවත් ඒනිසා අවදානම ඉතාම ඉහළින් ලංකාවෙ මේ වනවිට පවතින බව ඔහු ප්‍රකාශ කර ඇත.

මේ මොහොතේදී අපි සමාජගත වීමේ අවදානමේ එළිපත්තේ ඉන්නෙ. ඊයෙ සවස් භාගයේදී පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් වාර්තා වෙච්චි රෝගීන් එක්ක අපට යම් යම් කරුණු සහ අනාවැකි පහළ වෙමින් තියෙනවා මේක සමාජගත වෙමින් තියෙනවා කියන එකට. විශේෂයෙන්ම මේ වෙද්දි අපට රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වෙනවා යැයිද ඒහිදි මහජන සෞඛ්‍ය පරික්ෂක උපුල් රෝහණ මහතා කියා තිබුණි.

පී.සී. ආර් ප්‍රතිඵල නිකුත් කිරිමේ ප්‍රමාදය

කොවිඩ් 19 දැයි තහවුරු කිරිමට සිදු කරන පී.සී.ආර් පරික්ෂණ පිලිබඳව ද දැන් ඇත්තේ ගැටලුවකි. මේ වෙද්දි පීසීආර් පරීක්ෂණ වාර්තා විශාල තොගයක් ලැබීමට නියමිතය. තවදුරටත් ලැබෙමින් පවතියි. උපුල් රෝහණ මහතා කියා සිටින්නේ  පීසීආර් පරීක්ෂණ ඉහළ දමලා ලොකු තොගයක වාර්තා පෙන්ඩිං තියාගන්නවා කියන එක ප්‍රශ්නයක් බවය. ඒවගේම පීසීආර් පරීක්ෂණ අහඹු ලෙස කිරීම ඉහළ දමාගැනීමේදී අපට ප්‍රායෝගික ගැටළු රාශියක් පහුගිය කාලෙ පැවතුණා, ඒවාට තවමත් විසඳුම් හම්බුවෙනවා කියලා පේන්න නෑ. විශෙෂයෙන්ම යම් යම් වෘත්තීය කණ්ඩායම් අතර තියෙන ගැටුම්, ඒවගේම පීසීආර් සාම්පල් ලබාගැනීමේ බිමේ තියෙන සම්පත් ප්‍රශ්නය, විශේෂයෙන්ම පුහුණු නිලධාරීන් නොමැතිවීම වැනි ගැටළු රාශියක් තවදුරටත් පවතිනවා. කෙසේ වෙතත් අහඹු සාම්පල විශාල සංඛ්‍යාවක් ලබාගත යුතුව තිබෙනවා යැයි ඔහු කියා සිටියි.

වසංගත රෝග අංශය සමඟ පැවති PHI ලාගේ සබඳතාව බිඳ වැටිලා.

ඒමෙන්ම මේ වන විට සෞඛ්‍ය අංශ හා අනෙක් අංශ අතර ඇත්තේ පරස්පර සන්නිවේදනයකි.මුල් අවස්ථාවේ කොවිඩ් පාලනය කිරිමට ගත් උත්සහය මෙවර දක්නට නැත. මේ සම්බන්ධයෙන්ද මහජන සෞඛ්‍ය පරික්ෂක උපුල් රෝහණ මහතා තොරතුරු හෙළිකර සිටියේය.

පළවෙනි රැල්ල පාලනය කරගන්න යොදපු ශක්තිය විශේෂයෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් සහ ප්‍රාදේශීය බලධාරීන් මේ තත්වය අර්ථ දැක්වූයේ අපි ඒ සීමාවලට වඩා එහා ගිහිල්ලා යම් යම් කටයුතු කරනවා කියලා. නමුත් මේ මොහොතේ දැන් පැහැදිලියි අපි සීමාවලට එහා ගියා නෙවෙයි අපි ඒ තත්වය දැඩිව රට තුළ පවත්වා ගත්තා නම් මහජනතාව සහ විශේෂයෙන් දේශපාලන අධිකාරියේ සියලුම දෙනා එකතුවෙලා මේ මොහොතේ අපි අත්විඳින දේ මෙතරම් දරුණුවට අත් නොවිඳින්න ඉඩ තිබුණා. “බොහෝ පරස්පරතා මේ වෙද්දි පැන නඟිමින් තියෙනවා. විශෙෂයෙන් මේ ක්‍රියාවලිය ආරම්භයේදී වසංගත රෝග විද්‍යා අංශය සහ බිම්මට්ටමේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර තිබිච්ච සන්නිවේදන ක්‍රියාවලිය යම් යම් ස්ථනවලින් මේ වෙද්දි බිඳවැටෙමින් යනවා.

අපට අවම වශයෙන් බොහෝ අවස්ථාවලදි නිරෝධායන කඳවුරුවලින් නිවෙස් කරා නිදහස් කරන ආසාදිතයෝ එහෙම නැත්නම් නිරෝධායනය කරන අයගේ තොරතුරු පවා මේ වෙද්දි නිවැරදිව ලැබෙන්නෙ නෑ. ඒවගේම අපට බිම්මට්ටමට ලැබෙන උපදෙස් මහජන සෞඛ්‍ය සේවයේ පරස්පරව උපදෙස් ලැබෙනවා. ඒවගේම ප්‍රායෝගික නොවූ උපදෙස් ලැබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අපහසුතාවකට පත්වෙනවා මේ සම්බන්ධීකරණ කටයුත්තේ දුර්වලතාවය නිසා.

ඒවගේම පහුගිය දින කිහිපයේම අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමියට සහ අමාත්‍යාංශ බලධාරීන්ට පෙන්වා දුන්නා මේ තත්වය වර්ධනය කිරීම සඳහ අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒවගේම ආරක්ෂක අංශ සහ බිමේ සෞඛ්‍ය අංශ අතර පවතින පරස්පර විරෝධී අදහස් හුවමාරුවීම් සහ විශේෂයෙන්ම සන්නිවේදන ක්‍රියාවලිය ඉතාමත්ම ඉක්මනින්ම ඒක නිවැරදි කරන්න කියලා අපි ඉල්ලුවා.

(https://www.lankanewsweb.net/sinhala/90-special-news/70839-බ්‍රැන්ඩික්ස්-පොකුරට-පෙරම-රට-තුළ)

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා කොවිඩ් 19 වර්තමාන තත්තවය පිලිබඳ මව්බිම පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සමාජ ව්‍යාප්තිය කුමක්ද යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්වචනය කර ඇති බවත් මේ වෙද්දි ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය ඒ් හා ගැලපෙනවද කියා තීරණය කළ යුතු බවය. දැන් ලැබෙන දත්ත වල ගැටලුවක් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශයට ලැබෙන දත්ත අනෙක් අය සමඟ හුවමාරු කර ගන්නේ නම් මීට සහාය ලබා දීමට හැකි බවත් ඔහු ඒහිදි කියා තිබුණි. (https://mawbima.lk/news/27/news-more/72637)

හදිසි අවස්ථාවකදි කන්දකාඩු රෝහලට

මේ අතර පවතින තත්ත්වය වඩාත් නරක අතට හැරුණහොත් ශ්‍රී ලංකා හමුදාව විසින් ඉදිකරන ලද ඇඳන් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් සහිත කන්දකාඩු රෝහල හදිසි අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා (20) දින ප්‍රකාශ කර ඇත. ඒ්  කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති හදිසි කාර්ය සාධක බළකා රැස්වීමේදීය.

කෙසේ නමුදු අද ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ කොවිඩ් රෝහල් වල ඉතිරි තවත් ඇඳන් 154 ක් බවය.

මේ සියලු කරුණු නිරීක්ෂණය කිරිමේදි පෙනී යන්නේ මෙවර කොවිඩ් ව්‍යාප්තිය පාලනය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගිලීහි යමින් පවතින බවය. මේ වන විට කොවිඩ් පාලනයට වඩා ඔවුනොවුන් අතර ඇත්තේ වෙනත් මතවාදය. ගැටුම්ය. පරස්පර අදහස්ය. ඒ් බව මොවුන්ගේ ප්‍රකාශ වලින් මොනවට පැහැදිලි වේ.

ශානිකා

Social Sharing
නවතම විශේෂාංග