සක්විති රජකමටත් වඩා ලොකු අමෙරිකන් පුරවැසිකම හෙවත් ලොස් ඇන්ජලීස් කැසිල්ල!

මෙය ලියන දැන් වේලාව මධ්‍යාහ්න දොළහයි. විස්සට පක්ෂව මේ වන විට පාර්ලිමේන්තුවේ ඡන්ද එකතුවෙමින් තිබේ. විස්සට විරුද්ධව කෑ මොර දුන්  ඊනියා දේශප්‍රේමීහු දැන්  විස්සට පක්ෂ වෙමින් සිටිති.

මේ දේශප්‍රේමීන්ගේ විරුද්ධත්වය තිබුනේ ප්‍රධාන වශයෙන් ද්ව්ත්ව පුරවැසි බාධකය යන කරුන වටාය. අධිකරණයේ ස්වාධීනත්වය විනාශ වීම, නිදහස් සාධාරණ මැතිවරණ සංස්කෘතිය වැනසීම,යනාදී විස්සේ දවටා ඇති අති භයානක කරුණු ඔවුන්ට කිසිසේත් වැදගත් නොවිණි. මේ දේශප්‍රේමීන්ට විස්සේ හිරිකිතයක් දැණුනේ ද්ව්ත්ව පුරවැසි කමට පමණය.

මෙතන ඇත්ත වශයෙන්ම අදාල වන ද්විත්ව පුරවැසි කම යනු අමෙරිකන් පුරවැසි කම මිස වෙන රටක පුරවැසිකමක් නොවේ. ඇමෙරිකන් පුරවැසි කම යනු අවශ්‍ය වූ විටෙක අමෙරිකාවේ ආරක්ෂාව වෙනුවෙන් ආයුධ ගෙන සටන් කිරීමට වුව එකඟ වීමට දිවුරුම් දී ලබාගත යුතු පුරවැසි කමකි. මේ පුරවැසියන් අවසාන වශ⁣යෙන් පක්ෂ වන්නේ කාටද? (අද අර්ථයෙන් එවකට ලංකාව සහ පෘතුගාලය යන දෙරටේම ද්විත්ව පුරවැසියකු වූ දොන් ජුවන් ධර්මපාල අවසාන වශයෙන් පක්ෂපාතී වූයේ ලංකාවට නොව පෘතුගාලයටය.)

රාජපක්ෂලාට ලංකාවේ රජකම නොව සක්විති රජකම ලැබුනත් ඇමෙරිකන් පුරවැසිකම නැතිව ඇඟ කසනවා කසනවා වැනි තත්වයක් ඇත. පොහොට්ටු  දේශප්‍රේමීන් රාජපක්ෂලාගේ මේ ඇමෙරිකන් ලොස් ඇන්ජලීස් කැසිල්ලට ඉඩදී යටත් වීමට හිත හදාගෙන ඇත.ගුටි කකා වුව එයට ඡන්දය දීමට හිත හදාගෙන ඇත.

-කරුණාරත්න පරණවිතාන-

Social Sharing
නවතම