කටුනායක කොවිඩ් ව්‍යාප්තියට මුල් වුණේ මෑන් පවර් සේවකයින් !

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ඇරඹි කොවිඩ් 19 වෛසරය මේ වන විට කටුනායක කර්මාන්තශාලා 13 ක් වෙත ව්‍යාප්ත වී ඇති අතර ඒහි සේවක සේවිකාවන් 314 කු කොවිඩ් 19 ආසාදිත තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. කටුනායක පිහිටි කර්මාන්ත ශාලා 84න් හයිඩ්‍රාමණි, නෙක්ස්ට්, එ.ටි.ජි, චීප්වේ ලංකා, මාස් ලංකා හා බ්‍රැන්ඩික්ස් යන ආයතන 6 ක් මේ වන විට සම්පුර්ණයෙන් වසා දමා ඇත.

නිරෝධායන ඇඳිරි නීතිය මෙහි පැවතියද සේවක සේවිකාවන් බොහෝමයක් දෙනා මේ වන විටත් රැකියාවේ යෙදී සිටිති. මේ අතර කටුනායක පොලිසිය විසින්ද දන්වා සිටියේ මෙහි රැකියාවට පැමිණෙන අයට තම පුද්ගලික වාහන වලින් පැමිණිමෙන් වැළකි සිටින ලෙසය.

කෙසේ නමුදු කටුනායක නිදහස් වෙළඳ කලාපය තුල පවතින මෑන් පවර් ක්‍රමයට සේවකයින් සේවය සදහා යොදා ගැනීම නිසා කොවිඩ් 19 වෛරසය ප්‍රදේශය පුරා පැතිර යාමට හේතුවක් වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා සඳහන් කර සිටින බව පහුගියදා නෙත් ඒෆ්.ඒම් වෙබ් අඩවියේ සඳහන් කර තිබුණි.

එසේම  ප්‍රදේශයේ ඇති නේවාසිකාගාර වල ඇති සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීමද එක් ප්‍රධාන හේතුවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් මෙම නේවාසිකාගාර තුළ නේවාසිකව සේවිකාවන් 100-150 ක් පමණ සිටියද ඔවුන්ට සනීපාරක්ෂක කටයුතු සදහා වැසිකිළි ඇත්තේ 03 ක් හෝ 04 ක් වීම මෙයට නිදසුනක් බවත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අප වාණිජ හා කාර්මික සේවක සංගමයේ සහකාර ලේකම් සුගත් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ ඒසේ වුවා යැයි කියා මෑන් පවර් සේවකයින්ට දොසක් නැඟීමට නොහැකි බවය. මෑන් පවර් ක්‍රමය පවතින ආර්ථික රටාවේ පවතින ක්‍රමයක් බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ ඒසේ නම් කර්මාන්තශාලා වලින් ඒ් සේවකයින් ස්ථීර සේවයට බඳවා ගත යුතු බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ඩා බිඳු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධිකාරීනී චමිලා තුෂාරි මහත්මිය පවස්නේ මේ වන විට කටුනායක මෑන් පවර් සේවකයින් 10,000 ක් පමණ සිටින බවය. මේ වෛරසයය පළමුවෙන්ම කටුනායක ව්‍යාප්ත වුයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් කටුනායක නවාතැන් ගෙන සිටීම නිසා බවත් ඇතැම් විට සැමියා මිනුවන්ගොඩ ආයතනයේත් බිරිඳ කටුනායක ආයතනයකත් වැඩ කිරිම නිසාද මෙම වෛරසය ව්‍යාප්ත වීමට හේතු වු බව පෙන්වා දෙයි.

ඒමෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනයේ මානව සම්පත් අංශය දිවයින පුරා ගමන් කිරිම නිසාද අනෙක් පළාත් වලට ව්‍යාප්ත වු බව පෙන්වා දී සිටින ඇය කියා සිටින්නේ ආයතන වල සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් තිබුණේ නම් මෙලෙස වෛරසය ව්‍යාප්ත නොවුනු ඇති බවත්ය.

ශානිකා

Social Sharing
නවතම