පොලිස් නිළධාරියෙකුට ලේ සුවඳට ඉව ඇල්ලිය හැකි ද?

“මෙඩිකල් කන්ඩම් කරලා මාව ගෙදර යවන්න හැදුවාම කැමත්තෙන් ආවේ හිටියේ උඹව මුහුණ මුහුණ හමුවෙන්න, උඹෙ ලේ ගද මගේ නාසය තවම ඉල්ලනවා එකයි. සත්තකින්ම ඉල්ලනවා මගේ කොල්ලන්ගේ ලේ  වලට සාදාරණයක් කරන්න. උඹව අවුරුදු එකහමාරක් දරුවෙක් වගේ  පරිස්සම් කළ අර අකුරු තුනේ ඉන්න ස්තානාදිපති  අදින්නෙත් මම අදින පොලිස් කාකිය. ඒ මහත්තයා ගේ දරුවන්ට උබ දිපු සල්ලි වලින් කවලා හිමෝෆිලියාව හැදෙනවා උබ බලාගෙන ඉදපං.

උබ මට පොරක් නොවේ එදා සුගතදාස වෙඩින් හෝල් එකෙදී මගේ ඇම්බුස් එකට සෙට් වුනු දවසේ. ෆවූසි මංත්‍රි  හිටි නිසා උබ යහතින් ගියා. බායිවත්තේ මිහිලාර් ගේ පුතා ගේ වෙඩින් එකේ ඉම්රාන් එක්ක උබ ආවේ. මගේ ආබේවික්‍රමව උබ මරයි කියලා මම හිතුවේ නැහැ හීනෙන්වත්. නිකම් හරි හිතුනා නම් උබ ෆවුසි එක්කම යනවා සීයක් එක්ක වුනත්. මැරුනු උබට පොර ටෝක් දාන්න ඔනේ නැහැ. යන තැනකට ගිහින් හිටපං මම කලින් එව්ව කිහිපදෙනෙකුත් ඉන්නවා ගිහින්  හම්බවෙයන් උන්වත්. උබේ ගෝලයන්ට හීනෙත්වත් ඇවිත් කියපං හැම පොලිස් කාරයෙක්ම පොන්නයෝ නොවෙයි කියලා. උබව එව්වෙත් නියම පොලිස් කාරයන් කිහිපදෙනෙක් කියපං. දේශබන්දු මහත්තයා වගේ ආදරය කරන ලොකු මහත්තුරුවර වගේම ශානි  අබේසේකර, බබා කුජිත වගේ නපුංසක ඩයල් ද ඉන්නවා කියපං. දෙන දේ කාලා වෙන දේ බලාගෙන මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දරුවන්ට කුඩු කේස් එක නොදා ඉන්න කියපං. එහෙම නොවුනොත් ඇස් දෙක ඇරුණු බයංකාර මරණයක් බලාපොරොත්තු වෙන්න කියපං.”

මම නාකොටික් රංගජිව

( රංගජීව මහතාගේ මුහුනු පොතේ පළවූ මෙම සටහන එලසින්ම මෙහි උපුටා දක්වා ඇති බව කිව යුතුය. සංස්කරණයට ලක්කර නැත )

මේක ලියන රංගජීව නැමැත්තා සහ අපි දන්න පොලීසියේ ලොකු මහත්තයා රංගජීව යන පොලිස් නිළධාරියා එකම කෙනාද කියලා කියන්න දන්නේ නෑ. හැබැයි මේ දෙන්නම එකම කෙනා නම් ඔහු මාකඳුරේ මදූෂ් ගේ ඝාතනය ගැන වැදගත් තොරතුරක් අනාවරණයක් කරනවා. ඒකේ කියනවා උබ එව්වේ (මැරුවේ) නියම පොලිස්කාරයෝ කිහිප දෙනෙක් කියලා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන දේශබන්දු තෙන්නකෝන් මහතා ලොකු මහත්තයෙක් විදිහට දකින මේ රංගජීව නැමැත්තා ශානි අබේසේකර දකින්නේ පොන්නයෙක් විදිහට( ඔහුගේ ප්‍රකාශයට අනුව). කොහොම වුණත් මේ රංගජීව නැමැත්තා කියනවා මිනිහා තමන් “මදූෂ්ගේ ලේ සුවඳ” හොය හොයා හිටියා කියලා. ඒකෙන්ම පැහැදිලියි මේ පුද්ගලයා මොන ආකාරයේ පොලිස් නිළධාරියෙක් ද කියලා (මෙම මුහුනු පොතේ ගිනුම හිමි රංගජීව සහ පොලිස් පරීක්ෂක රංගජීව යන අය එකම පුද්ගලයෙක් නම්). පොලීසිය ඉන්නේ නීතියේ පාලනය සාධාරණව ක්‍රියාත්මක කරන්න. බැරිම අවස්ථාවක ඇරෙන්න පොලීසියට බෑ කැනහිලුන් වගේ “ලේ සුවඳට” ඉව අල්ල අල්ල මිනී මරන්න. මේ මහත්තයා කියන විදිහට නම් පොලීසිය කියන්නේ තවත් පාතාලයක්. ලයිසන් චන්ඩින්ගේ පාතාලයක්. අප කවුරුත් දන්නා පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යාංශයේ හිටපු පොලිස් නිළධාරියෙක් වන රංගජීව විශාල චෝදනා රැසකට නිරාවරණය වූ පොලිස් නිළධාරියෙක්. ඔහුට නැගෙන ප්‍රධාන චෝදනාව වන්නේ වැලිකඩ සිරගෙදර සිදුවූ ඝාතනයන් වලට ඔහුගේ සම්බන්ධයක් තිබෙන බවට වෙන චෝදනාව. මේක නොතකා හරින්නට නොහැකි චෝදනාවක්. ඇසින් දුටු සාක්ෂි ආශ්‍රයෙන් තමයි මේ චෝදනාව ඔහුට විරුද්ධව නැගෙන්නේ. සියලු දේවල් සැලකීමේදී මුහුනු පොතේ මේ ගිනුම දරන පුද්ගලයා සහ මේ කියන පොලිස් පරීක්ෂක රංගජීව එකම පුද්ගලයා නම්, එය අපේ රටේ පොලීසිය පිළිබඳව බරපත ප්‍රශ්නයක් මතුකරනවා. නීතියේ පාලනය සාධාරණව රට තුළ පවත්වාගෙන යෑම සඳහා ජනතාව විසින්ම පත් කරගෙන තිබෙන පොලීසියට, තමන්ගේ යටතේ තමන්ගේ අත් අඩංගුවේ සිටින අපරාධකරුවෙක් හෝ සැකරුවෙක් හෝ ඝාතනය කළ හැකිද? හිංසනයට ලක් කළ හැකිද? මෙම නිළධාරියාගේ ප්‍රකාශය හරහා එය සැකයට ලක් වෙනවා. 2015 යහපාලන ආණ්ඩුව පැමිණෙන්නට කළින් අප දැක්කා බොහෝ සැකකරුවන් පොලිස් අත් අඩංගුවේ දී වෙඩි ප්‍රහාරයන්වලට ලක්වී, දියේ ගිලී ඝාතනය වෙනවා. වර්තමානයේදී නැවතත් එයම සිදුවෙමින් තිබෙනවා. එවැනි අනීතික ඝාතන රැල්ලක් අස්සේම මෙරට නමගිය අපරාධකරුවෙක් පොලිස් අත් අඩංගුවේදී මෙලෙස ඝාතනය වීම ප්‍රශ්න කෝටියක් අපේ සිත් අස්සේ ඇති කරනවා. එම ප්‍රශ්නවලට යම් ආකාරයක පිලිතුරක් මෙම මුහුනු පොතේ ප්‍රකාශය හරහා මතු කරනවා. එය පුරවැසියාගේ පැත්තෙන් බරපතලය. අප අපගේ පොලීසිය පිළිබඳව නැවත සිතා බලන්න ඕනෑ.

පොලිස් නිළධාරියෙකුට ලේ සුවඳට ඉව ඇල්ලිය හැකි ද?

පොලිස් නිළධාරියෙකුට ලේ සුවඳට ඉව ඇල්ලිය හැකි ද?

පොලිස් නිළධාරියෙකුට ලේ සුවඳට ඉව ඇල්ලිය හැකි ද?

කේ. සංජීව

Social Sharing
නවතම