“20” පසු බැස්සාද?

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ වන විට රට පුරා උණුසුම් කථාබහක් මතුව ඇත්තේය. කොරෝනා වසංගතය තරමටම 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් දැන් වසංගතයක් බවට පත්ව ඇති අයුරු දැකිය හැකිය.

මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට විය හැකි අහිතකර බලපෑම්, ජනාධිපතිවරයාට ලැබෙන අනිසි බලය පිලිබඳ කරුණු සංශෝධනය යුතු බව මෙරට ප්‍රධාන පෙළේ ආගමික නායකයින් මෙන්ම මහා සංඝරත්නයද දිගින් දිගටම ජනාධිපතිපතිවරයාට කියා සිටියේ මෙවන් පසුබිමකය.

ආණ්ඩුව නටන පදේට තානම අල්ලන්නේ නැති බව පහුගියදා ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පුජ්‍ය වකමුල්ලේ උදිත හිමියන්ද පවසා තිබුණි. එමෙන්ම මෙයට එරෙහිව අමරපුර- රාමඤ්ඤ් සාමග්‍රී මහා සංඝ සභාවේන්ද නිවේදනයක් නිකුත් කළ අතර අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය සංශෝධනය විය යුතු බවයි.

මේ අතර මේ ආණ්ඩුව බලයට ගේන ඒමට සහාය දුන් නාරාහේන්පිට, අභයාරාමයේ දි පෙත්සමකට අත්සන් ගැනුණේය. ඒ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුලු හිමිවරුන් රැසක් මාධ්‍ය හමුවක්ද පවත්වමින් කියා සිටියේ 20 ගෙන ඒනවානම් ඒය ගෙන ආ යුත්තේ මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතුව බවත් නැතිනම් ඊට ඒරෙහි වන බවත්ය. ඒසේ නම් මේ 20 ඇති අනවශ්‍ය බලතල ඉවත් කළ යුතුව ඇතැයිද උන්වහන්සේලා කියා සිටියහ.

මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වෙනි ව්‍යවස්ථා පනත් කෙටුම්පත සඳහා තවත් සංශෝධන 03 ක් ගෙන ඒමට ඊයේ (19) රැස් වූ කැබිනට් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.  ඒ 19 වෙනි සංශෝධනයේ සඳහන් ඇමති මණ්ඩල සීමාව ඒ අයුරින්ම 20 වෙනි සංශෝධනයට ඇතුලත් කිරීමටත් ජාතික විගණන පනත ඒ අකාරයෙන්ම පවත්වාගෙන යාමට සහ හදිසි පනත් කෙටුම්පත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර දින 14 කින් පසු ඉදිරිපත් කිරීමටත් යන සංශෝධනය.

තවද  මෙහිදී ජාතික ආරක්ෂාවට හා ආපදා කළමණාකරණයට අදාල පනත් කෙටුම්පත් දින 07 කින් පසුව ගෙන ඒමට හැකිවන අයුරින්ද 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනපනත් කෙටුම්පතට සංශෝධන ගෙන ඒමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ ඊයේ (19) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අමාත්‍යවරු හමු වු අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ මහතා අදහස් දක්වා තිබුණේ මෙසේය.

“අද අමාත්‍ය මණ්ඩලයේදී අතිගරු ජනාධිපති තුමන්ම යෝජනා කළා මහා සංඝරත්නය ඇතුළු විවිධ කොටස්වලින් ඉදිරිපත් වෙච්චි අදහස් සැලකිල්ලට අරගෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, දැනට අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන සංශෝධන වලට අතිරේකව විගණනය පිළිබඳ 19 වැනි සංශෝධනය තිබුණු ආකාරයටම තියන්නත්, ඒවගේම හදිසි පනත් ජාතික ආපදාවකදී හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණකට පමණක් සීමා කරන්නත් මීට අමතරව අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 19 වැනි සංශෝධනයේ සඳහන් ආකාරයටම ඒ කාරණයත් අන්තර්ගත කළ යුතුයි කියලා තීරණය කළා.

ඒ අනුව, ඒ ප්‍රගතිශීලී වෙනස්කම් 3 අමාත්‍ය මණ්ඩලයේදී ජනාධිපතිතුමන්ගේ යෝජනාවකට අනුව තීරණය වුණා 20 වෙනි සංශෝධනයට ගෙන එන්න. ඔය තුන විතරයි” යනුවෙනි.

ඒ අනුව පෙනී යන්නේ ආණ්ඩුව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිමට පෙරම යම් පසුබෑමකට ලක්ව එය බොහෝ දෙනාගේ ඉල්ලීම මත සංශෝධන කළ බවය.

-ශානිකා –

Social Sharing
නවතම