මදූෂ් මැරුවේ ප්‍රභූන්ගේ කුඩු දේශපාලනය යට ගහන්න ද?

මාකඳුරේ මදූෂ් යනු ප්‍රකට අපරාධකරුවෙක් බව ලංකාවේ පොලීසිය පසුගිය කාලයේ අපට පුන පුනා කියමින් සිටියා. මේ පොලීසියම මෙම පාතල නායකයා වටා විශාල සාහිත්‍ය අවකාශයක් ද පසුගිය කාලයේ ගොඩනැඟුවා. එනිසාම අප සිතුවේ ඈත මෑත ලංකාවේ ලොකුම පාතාලයා මාකඳුරේ මදූෂ් කියලා. සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදූෂ්, දකුණේ මාකඳුර ගමේ ඉපදුන පුද්ගලයෙක්. ඔහු පාසලේදී හොඳට ඉගනගත් තරුණයෙක් බව තමයි ඔහු වටා ගොඩනඟපු සාහිත්‍ය අපිට කිව්වේ. පාසල් සමයේ ශිෂ්‍ය නායකයෙක් කියලා ඒ සාහිත්‍යම අපිට කිව්වා. ඊළඟට ඔහු මාතර මහා රෝහලේ සුළු සේවිකාවක් සමග විවාහ ගිවිස ගැනීම, ඇයට ඔහුට දාව දරුවෙකු ලැබීමේ කතාවේ සිට ඔහුගේ පවුලේ බොහෝ තොරතුරු අපි නවකතාවක් වගේ කියෙව්වා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න, වර්තමාන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වගේ මාතර ප්‍රභූ දේශපාලකයින්ට මේ පාතාල නායකයා සමග ඇයි හොඳයි කම් තිබුණ බව ඒ සාහිත්‍යම අපිට ප්‍රකාශ කළා. ඒවා ගොසිප් නැතිනම් ඕපාදූප විදිහට තමයි සමාජයට ආවේ. දකුණේ මැදමුලන රාජපක්ෂ පවුල සමග ද මේ පාතාල නායකයාට අරෝවක් තිබුණ බව, එනිසාම ඔහු පසුගිය යහපාලන රජයේ නායකයින්ගේ ද උදව්වෙන් අනුග්‍රහයෙන් වර්තමාන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ඩුබායි සිට කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයිද නොයේක්වර කියවුණා.

ඩැනී හිත්තැටියගේ මරණය ඔහුගේ ගිනුමට බැරවුණා. විශාල කුඩු ජාවාරම් ජාලයක ඔහු කේන්ද්‍රය බවත් කියවුණා. ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙරට පාතාල ක්‍රියාකාරකම්වල නිරතව සිටින බවත් කිහිප සැරයක් ව්‍යාජ ගමන් බලපත්‍ර යොදාගෙන ත්‍රාස ජනක ලංකා සවාරිවල නිරත්වී ඇති බවත් කියවුණා. ඒ මාකඳුරේ මදූෂ් පිළිබඳ සාහිත්‍යයෙන් බිඳක්.

අත්අඩංගුවට පත්වීම

මේ සියලු සාහිත්‍යන් ගොඩනැඟෙමින් තිබෙන වටපිටාවක පසුගිය 2019 පෙබරවාරි 05 වන දින ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මදුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 31දෙනෙකු ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ට එහිදී එල්ලකරනු ලැබූ චෝදනාව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම. ඉන්පසු ඔවුන් බන්ධනාගාර ගත කරන්නට එරට බළධාරීන් කටයුතු කරනවා. මේ අත්අඩංගුවට ගැනීම ගැන ලංකාවේ පොලීසියෙන් ද පුරාජේරු කතා අහන්නට ලැබෙනවා. ඒ සුරංගනා කතාවගේ කතාවලින් කියවුණේ මේ අත්අඩංගුවට ගැනීම ලංකාවේ පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යාශයේ විශිෂ්ට වැඩක් කියලා. ඉන් පස්සේ මෙම පාතාල නායකයා, කංජිපානි ඉම්බ්‍රාන් ඇතුලු අත්අඩංගුවට පත් පිරිස එක්ක ලංකාවට පිටුවහල් කරනවා. මාකඳුරේ මදූෂ් සීඅයිඩී භාරයට ගන්නේ පසුගිය 2019 මැයි 5 වෙනිදා අළුයම 5ට විතර. ඒ යූ.එල් 226 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමෙන් පසුව. ඉන්පසුව සීඅයිඩීය ඔහුගෙන් රැඳවුම් නියෝග ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කරනවා. එම ප්‍රශ්න කිරීම් හරහා මතුවුණ රසවත් තොරතුරුද නෙකවර මාධ්‍යයේ යන්නේ රසයම දෙමින්. නමුත් අන්තිමට මේ පරීක්ෂණවලට මොකද වෙන්නේ? ඔහුගෙන් හෙළිවන තොරතුරු මොනවාද? කිසිවක් එළියට නොඑන නිහඬ කාලයක් උදාවෙනවා. ඒ අස්සේ සී අයි ඩීය අස්සෙන් එන රහසිගත තොරතුරු කියන්නේ සුදුකරපටි ප්‍රභූ කුඩු පාතාල දේශපාලනය ගැන බොහෝ වටිනා තොරතුරු ඔහුගෙන් ලැබෙමින් තිබුණ බව තමයි. ඔහොම මෙහෙම දින සති ගෙවෙනවා. යහපාලන ආණ්ඩුව නැවත රාජපක්ෂ ආණ්ඩුවකට පෙරළෙනවා. ඒ විශාල ජනවරමක් මතින්. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පාතාළ මර්ධනයක් සහ කුඩුවලට එරෙහි සටනක් දියත් කරනවා. මේක මාධ්‍ය සංදර්ශනයක් ද කියලා අපිට සැක හිතෙන්න ගන්නවා.

නැවතත් පසුගිය රාජපක්ෂ පාලනයේදී වගේ අත්අඩංගුවට පත් වෙලා ඉන්න කුඩුකාරයින් පාතාලයින් ලෙස භවුතිස්ම ලැබූවන් බෝම්බ පෙනවන්න ගියාම කුඩු පෙන්වන්න ගියාම පොලිස් වෙඩි පහරින් මරණයට පත් වෙනවා. පුරවැසියෝ ඔන්න ගෝඨාභය ජනාධිපතිවරයා නියමෙට පාතාලයෝ මර්ධනය කරනවා කියලා සතුටට පත් වෙනවා. ඒ අස්සේ දැන් 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධන කෙටුම්පතක් ගේනවා. ඒක අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට එන්නේ අද. (2020 ඔක්තෝබර් 20 ) දින දෙකක් අස්සේ සියල්ල සිදුවෙලා නිමවෙන්න නියමිතයි. රටේ අනාගතය පැය 48කින් ලියවෙන්න නියමිතයි. විශාල විරෝධතාවක් රට පුරාම තියෙනවා. ඒ අස්සේ අද උදේ පාන්දර පුරවැසි ජනී ජනයාට හොඳ රහවත් පුවතක් ආණ්ඩුව දෙනවා. ඒ මොකද්ද ?

මාකඳුරේ මදූෂ් ඝාතනය කරයි

අවුරුද්දකට වැඩි කාලයක් රැඳවුම් නියෝග මතින් CID ය  භාරයේ හිටපු මාකඳුරේ මදූෂ් අද උදෑසන මාළිගාවත්ත නිවාස සංකීරණයට රැගෙන ගිහිං. ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන්. ඒ සඟවා තියෙනවා කියලා තොරතුරු ලැබුණයි කියන මත් ද්‍රව්‍ය කුඩු කිලෝ 22කක් සොයා ගන්න.

දැන් පොලීසිය කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් නිලධාරීන්ට වෙඩි තිබ්බා කියලා. ඒ වෙඩි වරුසාවෙන් මාකඳුරේ මදූෂ් මරණයට පත් වුණා කියලා. ඊට අමතරව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරියෙක්ටද තුවාලයි කියලා.

අවුරුදු එකහමාරක් විතර පොලීසිය සමග සිටි මාකඳුරේ මදූෂ් අදම කුඩු පෙන්වන්න කියලා මාළිගාවත්තට අරගෙන ගියේ ඇයි? ඔහුගේ මෙම ඝාතනය නිසා ඔහු ලබාදුන් තොරතුරුවලට සහ එම තොරතුරුවලට අදාළ පුද්ගලයන්ට වෙන්නේ කුමක්ද? කුඩු ප්‍රභූ දේශපාලන ජාලයට මොකද වෙන්නේ? මේ අනීතික ඝාතනය හරහා නැඟෙන ප්‍රශ්න ඒවා.

පොලීසිය සැකකරුවෙක් හෝ ඔත්තුකරුවෙක් හෝ යම් මත්ද්‍රව්‍ය වැටලීමකට අරගෙන යනවනම් ඔහුගේ ආරක්ෂාව ගැන වඟකිව යුතුයි. පාතාල නායකයෙක් කියලා මෙහෙම මරලා දාන්න පුලුවන් ද? මෙවැනි පාතාලයන්ට මොනවාද කරන්න ඕනී යන්න පොලීසියට හෝ විධායකයට හෝ ආණ්ඩුවට තීරණය කරන්න බැහැ. ඒක තීරණය කරන්න පුලුවන් අධිකරණයට විතරයි. එනිසා මේ අනීතික ඝාතනයන් වලට විරුද්ධ වෙනගමන් මේ නාටක මගින් වසා දමන්නට ඉත්සාහ කරන බියකරු යතාර්ථය තේරුම් ගන්න පුරවැසියා සබුද්ධික වෙන්න ඕනෑ.

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග