“ප්‍රජාතන්ත්‍රවාදය රාජපක්ෂවරුන්ට අරහං” – නීතීඥ රවී ජයවර්ධන

අධිකරණය සතු බලය විධායකය තමන් සතුකරගන්නවාට අධිකරණයෙහි විරුද්ධත්වයක් නොමැතියි බව ශ්‍රේෂ්ඨාධිකරනය ලබා දී තිබෙන තීන්දුවෙන් පෙනෙනවා. අපි මෙතනින් මේ සංවාදය අරඹමු!

අධිකරණයට බලපැම් කිරීම 2015ට ප්‍රථම සිදු වුණා. ඒක අපි දැක්කා. අරලියගහ මන්දිරයෙන් තමා නඩු තීන්දු එන්නේ කියන එක නීතිඥ ක්ශේත්‍රයේ ඉන්න අපි සියළු දෙනාම දන්නවා. ඒ වගේ අධිකරණයට වෙන දේවල් අපි දැක්කා. ශිරානි බණ්ඩාරනායක මැතිනියගේ සිදුවීම වගේ නිදර්ශන ඕනෑ තරම් දෙන්න පුලුවන්. වර්තමානයේදීත් අධිකරණයට එම ආකරයේම බියක් ඇතිවී ඇතිබව අපට හැඟී යනවා.

20 පිළිබඳව ඔබ මොකක්ද හිතන්නේ

විස්ස සම්බන්ධයෙන් ඇත්තටම හිතන්නේ, එය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල වරදක් සිදු කල ලියවිල්ලක් කියන එක. මේ ආණ්ඩුව බලයට එන්නේ එක ස්ලෝගනයක් උඩ. ඒ තමයි රට හදන්න බලය දෙන්න කියන එක. රටේ ජනතාව ඒ සඳහා ඔවුන්ට ලබා දීලා තියනවා 2/3 බලයක්. ඉතා විශාල බලයක් ඒක. ඒ වගේම රටේ අගමැතිවරයා හා ජනාධිපතිවරයා යන දෙන්නාම සහෝදරවරු. පවුලේ තවත් දෙදෙනුකට ඇමතිකම් දීලා තියනවා. බරපතල ප්‍රශ්ණයක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි තිබියදිත් ජනතව මේ විදිහට ඔවුන්ට ඉතා විශාල බලයක් දීලා තියනවා. ඔවුන් දැන් එම බලය අභ්‍යාස කරමින් ඉන්න බවක් තමයි පේන්නේ. එහෙත් මටනම් හිතන්නේ නෑ දැන් ඔවුන්ට 20 වෙනි සංශෝධනයක් අවශ්‍යයි කියලා, මොකද වැඩ කල හැකි බලයක් ආණ්ඩුවට මේ වෙලාවෙ තියනවා. එහෙම තිබියදිත් තවත් බලයක් ඉල්ලනවා කියන්නේ මම නම් හිතන්නේ එකාධිපති පාලනයකට පසුබිම තමයි මේ හදාගෙන යන්නේ. ඒ වගේම තමයි 20 වෙනි සංශෝධනය ගේන්න මෙයාලා හේතු දෙකක් කියනවා. එකක් තමා පාස්කු ඉරිදා ප්‍රහාරය සහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය. 20 ගෙන්න මේ හේතු දෙක අතර තියන සම්බන්ධය මට තේරෙන්නේ නෑ. පාස්කු ප්‍රහාරය සම්පූර්නයෙන්ම පසුගිය රජයේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවුණ අවාසනාවන්ත සිදුවීමක්.

එයාලා කියන තව කථාවක් තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ එක පවුලක් ඉලක්ක කරගෙන කියලා. එක එහෙම නෙවෙයි 19 වන ව්‍යවස්ථා සංශෝධය ගෙනාවේ මේ රටේ 1978 ඉදලා මේ ව්‍යවස්ථාවට තිබිච්ච විරෝධය නිසා. අපි හැමදාම කතා කළේ මේ ඒකාධිපති ව්‍යවස්ථාව කොහොමද අහෝසි කරන්නේ කියලා. ඒ මත තමයි 19 වැනි සංශෝධනය ගෙන එන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා මේක එක පුද්ගලයකු හෝ පවුලක් සලකා විශේෂයෙන් සැකසුවක් නොවෙයි කියන කාරණය. අනෙක් පැත්තෙන් 1978 කියන්නේ මීට දශක 4කට එහා කාලයක් . එ කාලෙ ලෝකේ තත්ත්වය වෙනස්. අද වගේ මානව හිමිකම් පිළිබඳ අදසක් එම කාලය තුළ තිබුණේ නෑ. තොරතුරු දැන ගැනීමේ පනත ගැන එහෙම මිනිසුන්ට මතයක් තිබුණේ නෑ. ඒවගේම එකාලේ හිටපු සමාජයේ විශාල මධ්‍යම පංතියක් තිබුනේ නෑ. මීට වඩා වෙනස් සමජායක් තමයි තිබුණේ. ඒ සමාජයට ගැලපෙන්න තමයි 1978 ව්‍යවස්ථාව ජේ.ර් ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනාවේ. ඒ මොකද එ සමාජේ මීට වඩා ප්‍රාථමිකයි. ඒ වෙලාවෙ ලොකේ තිබුණා කඳවුරු දෙකක්. ඒ කඳවුරු දෙකෙන් ධනවාදී කණ්ඩායමට හෙත්තු වෙලා හිටපු අපේ ආණ්ඩුව ඒ සමාන්තරව යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමයි ගෙනාවේ. මේ දියුණුවත් එක්ක තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය දශක හතරකට පස්සේ එන්නේ. යම්කිසි ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ගොඩක් එක්ක. එතතකොට මම හිතන්නේ අද මේ රටට අවශ්‍යවන්නේ එකාධිපතියෙක් නෙමෙයි. මේ ලොකේ අනෙක් රටවල් එක්ක සාර්ථක ගමනක් යන්න නම් ප්‍රජාතන්ත්‍රවාදීයෙක් තමයි අවශ්‍ය වෙන්නෙ. එක තමයි 19වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දුන්නේ.

මං හිතන විදිහට ප්‍රජාතන්ත්‍රවාදය කියන එක රාජපක්ෂවරුන්ට ගැලපෙන්නේ නෑ. ඔවුන් එකට කැමතිත් නෑ කියන එකතමයි මගේ විශ්වාසය. එක තමයි මේ වගේ විනාශකාරී ව්‍යවස්ථා සංශෝදනයක් මේ රටට ඉදිරිපත් කරන්න ඔවුන් කටයුතු කරන්නේ. විශේෂයෙන් මට නොතෙරෙන්නේ ඇයි මේ විගණන‍ය සම්බන්දයෙන් බයක් තියෙන්නේ කියලා. තමන් එන්නේ රට පාලනය කරන්නට නම්, තමන් එන්නේ රට සංවර්ධනය කරන්න නම් ඇයි විගණනයට බය. ප්‍රසම්පාදනය කියන්නේ නවතම අදහසක්, ටෙන්ඩර් දූෂණ නැති කරන්න තමයි ප්‍රසම්පාදන කොමිසම බිහි වෙන්නේ. නමුත් මේ රජය එකට පයින් ගහලා පැත්තකට දාලා තමන්ට ඔනේ විදිහට තමන්ගේ හිතවතුන්ට ටෙන්ඩර් බාර දෙන්න හදනවා.  ටෙන්ඩර් නැතුව මේ රට තුළ දුෂණය වපුරන්න තමයි ප්‍රසම්පාදන කොමිසම වගේ එවාට පයින් ගහන්නේ. මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වගේ ප්‍රතිසංස්කරණ අපි කාලයක් තිස්සේ බලාපොරොත්තු වුණා. නමුත් දැන් ඒ සියළු දේ පැත්තක දමා එක පුද්ගයකුට අවශ්‍ය තැනකට රට ගෙනියන බවක් තමයි අපට පෙන්නට තියෙන්නේ. ඒ නිසා අපි 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිසි අවබෝධයක් නෑ මේ ව්‍යවස්ථා සංශෝදනය පිලිබඳව. එම තත්ත්වය තුළ මෙය ඉතා සරල සංශෝධන සහිතව පාස් වෙන තත්ත්වයක් තමා තියෙන්නේ.

අවුරුදු හතර හමාරක් හෝ පහක ධුර කාලයක් සඳහා පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීන් 20ට එකගවුණොත් ඔවුන් අවුරුද්දක කාලයක් දක්වා ඔවුන්ගේ ධුර කාලය කෙටි කරගන්නවා. මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ වනවිට රට තුළ විශාල විරෝධතාවයක් ගොඩනැගිලා තිබෙනවා.  අපගේ මහා සංඝරත්නය පවා අද මේ සංශෝධනයට විරුද්ධයි. එනිසා මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලන්නට කැමතියි, ප්‍රජාතන්ත්‍රවාදය කරා රට ගෙනයාම සඳහා තමන්ගේ හෘද සාක්ෂිය විවෘත කරන ලෙස. මෙය සම්මත වෙනවා කියන්නේ මෙතෙක් මෙරටේ සියලු දෙනා විදගෙන ආ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සියළු දේ එක මොහොතකින් නැති වී යාමක්. එය මේ සමාජයේ ඉදිරි ගමනට විශාල බලපෑමක් ඇති කරයි. අනෙකුත් රටවල් අතර අප කොන්වීමට එය හේතුවක් වෙයි. මන්ද සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය කරා යනකොට අප පමනක් දශක ගානක් ආපස්සේ ඇති ව්‍යවස්ථාවක් කරා ගමන් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් නොවේ රටේ ආර්ථිකයත් අප ආපස්සට තමා ගෙනියන්න හදන්නේ 20 වෙනි සංශෝදනය ගෙන ඒමෙන්.

සාකච්ඡා කලේ – කේ සංජීව

Social Sharing
නවතම සාකච්ඡා