නිරෝධායන ගැසට්ටුවට අනුව 20 ගැන විවාදය නීති විරෝධීයි – විපක්ෂ ප්‍රධාන සංවිධායක

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ඒය පාලනය කිරිම සඳහා නිරෝධායන ගැසට්ටුවක් නිකුත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ ඉකුත් ඔක්තෝම්බර් 15 දා මධ්‍යම රාත්‍රියේදීය. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුක්තවය. එම ගැසට්ටුවට අනුව ඔක්තෝම්බර් 16 වෙනි දින සිට නිරෝධායන  නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මෙම ගැසට්ටුවේ නීති කඩන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයක් හෝ මාස 06 ක සිර දඩුවමක් හෝ ඒම දඬුවම් දෙකම ලබා දීමට පියවර ගැනීමට අධිකරණයට හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ අතර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (16) තීරණය කර තිබුණි.

මෙකී  නිරෝධායන ගැසට්ටුවට අනුව 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය පැවැත්වීම නීති විරෝධී වන බැවින් එය කල් දැමීම කළ යුතුව ඇතැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව රැස්වීම පැවැත්වීම සීමා  කළ යුතු බවත් එසේ නොකිරීම එම ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි උල්ලංඝණය කිරිමක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරයද රජය විසින් හඳුන්වා දී ඇති රෙගුලාසිවලට පරස්පර බවත් රැස්වීම් සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද එම නීතිරීතිවලට පටහැනි බවද ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් කියා සිටියි.

නීති සම්පාදනය කරන ස්ථානයාම එම නිති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්ද ? යන්න බව විමසන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.

ශානිකා

Social Sharing
නවතම