උස් තැන් දැක පැකිලෙන මිටි තැන් දැක පුප්පන අණ්ඩුවේ කොවිඩ් මර්දනය

උස් තැන් දැක පැකිලෙන මිටි තැන් දැක පුප්පන මිනිසුන් නිවටයන් බව කිව්‍වේ‍ එස්. මහින්ද හිමිය. වත්මන් ආණ්ඩුව බලයට පත් වීම උදෙසා පැවැති මහජන රැළි වලදීත්, ආණ්ඩුව බලයට පත් කිරීමට පාර කැපීමට පැවැති ව්‍යංග රැළි වලදීත් නිතර නිතර වාදනය වූයේත් මේ එස්. මහින්ද හිමිගේ කවිය. එනමුත් වත්මන් ආණ්ඩුවේ නන්විධ ක්‍රියාකාරීත්වය අපට පෙන්වන්නේ කුමක්ද?

ඒ සම්බන්ධ‍යෙන් මේ කාලයේ හොඳම උදාහරණ සපයන්නෙ ආණ්ඩුවේ කොවිඩ් මර්දන වැඩසටහන්ය. කොවිඩ් මර්දනයේදී ආණ්ඩුව උපයෝගී කර ගත්තේ මිලිටරි මැදිහත්වීමකින් ජනයාගේ සංචරණයන් සීමා කර සිදු කරන පාලනයකි. ඉන්ද ඔබ්බට ‍ගොස් ආණ්ඩුව නිරෝධායන මධ්‍යස්ථානයන්හී පාලනයද මිලිටරියට භාර කෙරුණි. එතනිනුත් නොනැවතුනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කොවිඩ් මර්දන බලකායේ සභාපතිකම ලබා දුන්නේද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයකුට නොව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාටය. දැන් මේ වන විට සම්පූර්ණයෙන් කොවිඩ් සම්බන්ධයෙන් මහජනයාට උපදෙස් ලබා දීමට මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාත්ය. සෞඛ්‍ය බලධාරීන් ඉන් කෙමෙන් කෙමෙන් ඉවත් වන බවක් පෙනෙන අතර පසුගියදා සේවයෙන් පහත දැමූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට මාධ්‍ය ප්‍රකාශක පට්ටමක් ලබා දුන්නද පසුව නිකුත් කල නිවේදනයකින් පෙන්නුම් කලේ සෞඛ්‍ය අමාත්‍යංශය මාධ්‍ය සාකච්ඡා නොපවත්වන බවයි.

ලංකාවේ බහුතර ජනයාගේ විශ්වාසය වන්නේ විනය ගරුක මිලිටරිය මැදිහත් වූ ආණ්ඩුකරණයක් තුළින් ලංකාවේ සියළු ප්‍රශ්න විස‍‍ඳිය හැකි බව හා ඒ මගින් එක රටක් එක නීතියක් ගොඩ නැගෙන බවයි. ඒ වෙනුවෙන්ම ලංකාවේ ගැයුණු ප්‍රශස්ති අති විශාල ප්‍රමාණයක් වූ අතර විරු පෙළහර පෑම් වෛවර්ණ වෙමින් පැවතුණි. කොවිඩ් මර්දනයේ මුල් අවධියේ අති විශාල ලකුණු සංඛ්‍යාවක් මාධ්‍ය මගින් ලබා ගත්තේ සෞඛ්‍ය සේවයේ සුවහසක් සේවකයන් නොව මිලිටරියේ හා පොලීසියේ මහත්වරුන්ය.

කොවිඩ් දෙවන රැල්ල තුළ ලංකාවේ ජනයාට යථාර්තය අවබෝධ වෙමින් ඇත්තේ ලංකාවට අතිවිශාල විදේශ විනිමයක් උපයා දෙන පීඩිත ඇගළුම් සේවිකාවන් හා සේවකයන්ට අත් වී ඇති ඉරණමෙන් හා පළමු රැල්ලට වඩා සංකීර්ණ දෙවන රැල්ල තුළ රට විවෘත කරගෙන කොවිඩ් මර්දනයේදී ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙනි.

බ්‍රැන්ඩික්ස් ඕමාර් හා ඇගළුම් සේවකයන්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා වීරයෙක් සේ මාධ්‍ය ඉදිරියට පැමිණ වරක් ප්‍රකාශ කලේ නිරෝධායනයට එක් නොවී සැගවී සිටින මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිත සියළු දෙනාගේ දේපළ රාජසන්තක කර අපරාධ නීතිය ක්‍රියාත්මක කරන බවයි. මේ ඔහු නොකියා කීවේ ඇගළුම් සේවකයන් ඇතුළු පීඩිත ජනයාටය. මව් ගුණ ගී ඇසෙන විට ඇසින් කඳුළු වගුරන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට පීඩිත ඇගළුම් සේවිකාවගේ දුක් වේදනා නොදැනෙනවා ඇත. එසේත් නැත්නම් ‍නොදන්නවා සේ සිටිනවා විය හැක. අජිත් රෝහණ මහතාගේ මේ ඝෝෂාව හා වීරත්වය බ්‍රැන්ඩික්ස් සමාගමට නැත. බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධානී ඕමාර්ට නැත.

ආණ්ඩුවත් එහි මිලිටරි බලකාත් බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධානීන් ඉදිරියේ පූස් පැටවුන් සේ අහිංසක වී ඇත. විනය ගරුක මිලිටරියේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ හෝ අජිත් රෝහණ මහතාගේ කටින් වචනයක් බ්‍රැන්ඩික්ස් මුදලාලිලාට එරෙහිව පිට නොවේ. ඔවුන් හරිම පරිස්සම්ය. අතිශයින්ම සැලකිලිමත්ය. වචනයක් ඔවුන්ගෙන් බ්‍රැන්ඩික්ස් සමාගමට හෝ එහි ප්‍රධානීන්ට එරෙහිව පිට වුවහොත් සිය ස්වාමියන් උරණ වනු ඇත. අදට ඔබින්නේ ස්වාමියන්ට කීකරු වීමය.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ඇති වූයේ කෙසේද යන්න සෙවීම ඔවුනට දැන් අවශ්‍ය නැත. ඇගළුම් සේවිකාවන් සිය සමූහ බෝඩිං කාමර වලින් කුදලන් ඇවිත් නිරෝධායනයට යොමු කිරීම පමණක් අවශ්‍ය වේ. මීට පෙර ජනාධිපතිවරයාද, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණද, හමුදාපතිවරයාද මහත් ආඩම්බරයෙන් කීවේ මේ කොවිඩ් ආසාදිතයන් සොයා ගැනීමට බුද්ධි අංශ අතිශයින් විශාල වැඩ කොටසක් සොයා ගත් බවයි. එය ලොව කිසිම රටක සිදු නොවූවක් බවත්, ඒ අතින් අපි විශිෂ්ට බවත් ඔවුහූ නිතර නිතර ප්‍රකාශ කළහ. අවාසනාවකට මහත නම් ඒ අතිවිශිෂ්ට බුද්ධි අංශයට මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ඇති වූ හැටි පමණක් සොයා ගත නොහැක. ඒ කා වෙනුවෙන්ද?

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෝ?   

බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ කම්හලේ සේවකයන් පසුගිය සැප්තැම්බර් මස  22 වන දින සිටම කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කල බවත් ඇතැමුන් ක්ලාන්ත වී ඇද වැටුනු බවත් මේ වන විට එළි දරව් වී ඇත. එය එළි දරව් කලේ මිනුවන්ගොඩ පොකුරෙන් හමු වූ පළමු කොවිඩ් ආසාදිත කාන්තාවයි. මේ වන විට සෞඛ්‍ය අංශද ප්‍රකාශ කරන්නේ ඇයට පෙර මෙම රෝගය ආසාදනය වූ කාන්තාවන් එකී කර්මාන්ත ශාලාවේ සිට ඇති බවයි. මිනුවන්ගොඩ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මේ ගැන කියන්නේ කුමක්ද? ඔහු, ඔහුගේ රාජකාරිය පැහැර හැර ඇති බව පෙනේ. ආන්ඩුවට ඒ සම්බන්ධයෙන්ද වගේ වගක් නැත. මේ සම්බන්ධයෙන් හාන්කවිසියක්වත් නොදැන උදේ සිට රෑ වනතෙක් ජීවිත මැෂිම වැඩකරවා ගැනීම වෙනුවෙන් මැෂීන් කැරකවූ ඇගළුම් සේවිකාවන්ට නම් ආණ්ඩුවේ මිලිටරිය හා පොලීසියේ අමිහිරි සැලකුම් නොඅඩුව ලැබෙන බව මේ වන විට ඒ සම්බන්ධ සංවිධාන ගණනාවක් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කොට ඇත.

ඇගළුම් සේවිකාවන් අපහසුතාවයට

පාලනය කර තිබූ කොවිඩ් වසංගතය දෙවන රැල්ලකින් නැවත පැමිණීම සම්බන්ධයෙන් වගකිව යුතු කිසිවකුට කිසිදු නීතියක් මේ වන ‍තෙක් ක්‍රියාත්මක නොවුනද පීඩිත ඇගළුම් සේවිකාවන්නම් බරපතළ හිංසනයකට නිරෝධායන ක්‍රියාවලිය ආරම්භයේ සිටම සිදු වන බව වාර්තා වේ. පසුගියදා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම උදෙසා පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් STAND UP MOVEMENT SRI LANKA සංවිධානයේ අශීලා දන්දෙණිය  දැක්වූ අදහස් vikalpa.org වෙබ් අඩවියේ මෙසේ සටහන් කර තිබුණි.

“පළවෙනියෙන්ම මේ සේවකයින් PCR පරීක්ෂණ වලට යොමු කරන අවස්ථාවේ ඒ සේවකයින්  අනවශ්‍ය විදියට රස්තියාදු කරමින්, ඔවුන්ව බස් වලට පටවා ගැනීමේදී, නංවා ගැනීමේදී ඔවුන්ට බැන වදිමින්, ඔවුන් වරදකරුවන් විදියට, කොවිඩ් ආසාධනයට පත්වීම සේවකයින්ගේ වරදක් ආකාරයට තමයි සලකන්නේ, ඒ වගේම නිරෝධායන ක්‍රියාවලිය ඒකට දෙන දඬුවමක් ආකාරයට තමා ක්‍රියාත්මක වෙන්නේ.ඔවුන් උදේ පාන්දර බස් වල නංවගෙන හවස් වෙනකන් බෝඩින් ගානේ ගිහින්, පොසිටිව් අය වගේම සියලු දෙනාම එක පොදියට බස් වලට පටවාගෙන දවසම කිසිම ආරක්ෂක ක්‍රමවේදයකින් තොරව මේ සේවකයින් අරගෙන යන්නේ”(https://www.vikalpa.org/article/38898)

එකී මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඩා බිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරක චමිලා තුෂාරිගේ අදහස්ද vikalpa.org වෙබ් අඩවියේ මෙසේ දක්වා තිබුණි.

“මේ වෙනකොට, බෝඩිම් වලට පැනලා අපරාධකාරයෝ අරගෙන යනවා වගේ, බෝඩිම් වටකරලා, තත්පර 5 කින්, පැය කාලකින් ලැස්ති වෙන්න කියලා දවස් 15 කට යන්නේ කොහෙද කියලා දන්නේ නෑ. PHI කෙනෙක්, සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් නෑ.

ආයතනය තුළ ඉන්න ඉහළ පෙළේ නිලධාරින් තරු පහේ හෝටල් වල නිරෝධනය වෙද්දී, මේ කම්කරුවන්ව දුවිල්ලෙන් නැවුණු සනීපාරක්ෂක පහසුකම් කිසිදෙයක් නැති තැන්වලට ගිහින් ගාල් කරලා තියෙනවා, මෙහෙම වෙනස් කොට සලකන්න එපා.” (https://www.vikalpa.org/article/38898)

මොවුන්ගේ අදහස් අනුව පෙනී යන්නේ ඇගළුම් සේවිකාවන් බරපතළ හිංසනයකට ලක් වීමක් මේ නිරෝධායන ක්‍රියාවලිය තුළදී සිදු වන බවයි. ගර්භණි කාන්තාවන් හා දරුවන්ද හිංසනයට ලක් වීම බරපතළ කාරණයක්.

මේ වන විට නව ගැසට් නිවේදනයක් මගින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා නව නීති හා නව දඩ මුදල් ප්‍රකාකාශයට පත් කර ඇති අතර, ඒ සියල්ල මහජනතාවටය. කොවිඩ් 19 දෙවන රැල්ලට වගකිව යුත්තන් කිසිවකුට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් එක රටක් එක නීතියක් වෙනුවන් බලයට පත් පොදු ජන ආණ්ඩුව සිදු කර නැත.

දැන් මේ වන විට බ්‍රැන්ඩික්ස් සෙවකයන් ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානා මගින් ගෙන්වා ගත් බව පිළිගෙන ඇත. ඉන් පසු යම් හෝටල් කිහිපයක ආණ්ඩුවේ ක්‍රමවේදයට අනුව නිරෝධායන නීතිය අනුව කටයුතු කර මුදා හළ බව බ්‍රැන්ඩික්ස් මතය වුවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශ කලේ බ්‍රැන්ඩික්ස් සේවකයන්ගේ නිරෝධායන ක්‍රියාවලියට ඔවුන් සම්බන්ධ නොවූ බවයි. එසේ නම් අදටද මෙම වගකිවයුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ උත්සහයක් හෝ නොමැත.

සියළු ඝෝෂාවන් ඇත්තේ සාමාන්‍ය පුරවැසියන්ටය. ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ට, ප්‍රභූන්ට ක්‍රියාත්මක වන නීතියක් නොමැත. උස්තැන්වලට ආණ්ඩුව පූස් පැටවුන්ය. සිංහ සෙයියාවෙන් සිටින්නේ මිටිතැන්වලටය. මේ ක්‍රමයට, දේශප්‍රේමීන්ගේත් වත්මන් ආණ්ඩුවේ නායකයන්ගේත්, පාක්ෂිකයන්ගේත් නොමඳ ගෞරවයට පාත්‍ර වූ, ආණ්ඩුව බලයට පත් කිරීම උදෙසා පැවැති මහ රැළි වල මහ හඬින් ජනයාට අසන්නට සැලැස්වූ කවි ලියූ එස්. මහින්ද හිමියන් නම් කිව්වේ නිවටකම කියාය.

උස් තැන් දැක පැකිලෙන මිටි තැන් දැක පුප්පන අණ්ඩුවේ කොවිඩ් මර්දනය

දුලාන් දසනායක

Social Sharing
නවතම විශේෂාංග