20 වැනි සංශෝධනය 21 සහ 22 විවාදයට ගැනේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  ඊයේ (16) තීරණය කර තිබේ.

මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝබර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පෙරවරු 10 සිට රාත්‍රී 7.30 දක්වා පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ. ඔක්තෝබර් 22 වැනිදා රාත්‍රී 7.30 ට විවාදය අවසන් වීමෙන් පසු කාරකසභා අවස්ථාව ආරම්භ කිරීමට නියමිතය.

එම දින 02 තුළදී පාර්ලිමේන්තුව ආරම්භයේදී පැවැත්වෙන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න සභා ගර්භය තුළදී ඉදිරිපත් නොකෙරෙන අතර දිවා විවේකය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක්ද සිදු නොවනු ඇත.

මේ අතර ඔක්තෝබර් 20 වැනිදා පෙරවරු 10.00 සිට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග 03ක් විවාදයට ගැනීමටත් කාරක සභාව තීරණය කළේය. එදින සවස 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනෙනු ඇත.

Social Sharing
නවතම