බන්ධනාගාර මුලස්ථානයේ සීතල යුද්ධය

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිදු වන දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් හමු වුයේ ඉකුත් සතියේදීය. එහිදී ඔහු සැර කථාවක් කරමින් කියා සිටියේ බන්ධනාගර නිලධාරීන්ට හැදෙන ලෙසය. නැතිනම් තමන් හදන බවය.

මේ  හමුවීමෙන් සතියක්වත් යාමට මත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මුල් පුටුව සෙලවුණේය. එහි සිටි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ස්ථාන මාරු කළේය. නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස පත් කරන ලද්දේ තුෂාර උපුල්දෙණිය මහතාවය. තුෂාර උපුල්දෙණිය යනු කලින් සිටි බන්ධානාගර මාධ්‍ය ප්‍රකාශකවරයාය. පසුව ඔහු බන්ධනාගර කොමසාරිස් (බුද්ධි) නිලයේ කටයුතු කළේය. 2001 වසරේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක් වී ඇති ඔහු නව තනතුරේ වැඩ බාර ගනු ලැබුයේ ඊයේ (08) දිනය.

මොහුගේ වැඩ බාර ගැනීමත් සමඟ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තවත් මුල් පුටුවක් ගැලවී ගියේය. ඒ බන්ධනාගර මුලස්ථානයේ අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කළ වෙනුර ගුණවර්ධන මහතා එම මොහොතේම සිය විශ්‍රාම ලියකියවිලි භාර දී සේවයෙන් සමු ගැනීමය.

තුෂාර උපුල්දෙණිය මහතාට වඩා වසර 10 ක් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ වෙනුර ගුණවර්ධන මහතා කියා ඇත්තේ තමාට වඩා කනිෂ්ඨ නිලධාරියෙක් යටතේ තවදුරටත් තමන්ට සේවය කළ නොහැකි බවය. 1995 වසරේ බන්ධනාගාර සේවයට එක් වී ඇති ඔහු 2020 වසරේ අග භාගයේදි විශ්‍රාම යාමට නියමිතව තිබුණි.

බන්ධනාගාර මුලස්ථානයේ ටික කලක පටන්ම ඉහළ නිලධාරීන් අතර සීතල යුද්ධයක් හටගෙන තිබු අතර පෙර සිටි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාද වෙනුර ගුණවර්ධන මහතාව දිගින් දිගටම නොසකලා හරින ලදි.

නමුත් මාධ්‍යවේදියෙකු ලෙස මේ නිලධාරීන් සම්බන්ධයෙන් මා අත්දැක ඇති දෙයක් ඇත. එනම් කිසියම් පුවතක් සම්බන්ධයෙන් බන්ධනාගර පාර්ශවයෙන් කරුණු විමසිමට බන්ධනාගර කොමසාරිස් ජෙනරාල්වරයාට දුරකථන ඇමතුමක් දුන් විට ඔහු ප්‍රශ්නය අසා පිළිතුරු දීමකින් තොරව දුරකථනය විසන්ධි කරයි. තුෂාර උපුල්දෙණිය මහතාටද ඇමතූ විට ඔහු දුරකථනයට ප්‍රතිචාර දක්වන්නේ බොහෝ වේලා ගිය පසුය. නැතහොත් ප්‍රතිචාර දක්වන්නේද නැත. නමුත් වෙනුර ගුණවර්ධන මහතා ඇමතූ විට ඔහු ඊට සාවධානව ඇහුම්කන් දී ඊට පිළිතුරුද ලබා දෙයි.

කෙසේ නමුදු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තවත් වෙනස්කම් රැසක් ඉදිරියේදී සිදු වෙනු ඇත. ඊට නිලධාරින් අතර ඇති සීතල යුද්ධයද හේතූ විය හැකිය.

-ශානිකා-

Social Sharing
නවතම