වෛද්‍ය ජයරුවන් පත් වී දින දෙකයි, කොවිඩ් 19 මාධ්‍ය හමු වලට තහනමක්!

පහුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආන්දෝලාත්මක චරිතය වුයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරය. ඒ ඔහුව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් කර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ධූරයට පත් කිරීම නිසාය.

එහිදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ තමන් වැඩියෙන් වැඩ කළ නිසා මෙම දඩුවම හිමි වූ බවත් නැවත තනතුරු භාර නොගන්නා බවත්ය. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටියේ අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හිමියන් පමණය. උන්වහන්සේ පැවසුයේ කළ වැඩේ කැත බවය.

මාධ්‍ය තුලද වෛද්‍ය ජයරුවන් අධ්‍යක්ෂකධුරයෙන් පහ කිරීම පිලිබඳ දිගින් දිගටම කථා කළහ. අවසානයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස තනතුරක් හිමි වුවේය. ඒ මීට දින දෙකකට ඉහතදීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ප්‍රථම මාධ්‍ය හමුව පවත්වමින් ඔහු කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරියත්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේත් ඉල්ලීම මත තමන් සතුටින් මෙම නව තනතුර භාර ගත් බවය.

සැබවින්ම වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට ඇත්තේ දක්ෂ කථිකත්වයකි. ඔහුට මනාව යමක් තේරුම් කිරීමේ හැකියාව ඇත. පැහැදිලි හඬක් ඇත. ඒ නිසා ඔහුට එම නව තනතුර මනාව ගැලපුනේය.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහුට මාධ්‍යවේදීන් ඇමතිය හැකි වන්නේ යම් සීමාවකට පමණය. නිදසුනක් ලෙස මේ කොවිඩ් වසංගත සමයේ ඔහුට ඒ ගැන ජනතාව දැනුවත් කළ හැකි නමුත් ඊට වසංගත රෝග අංශයේ වෛද්‍යවරුන්ගේ සහාය මාධ්‍ය හමුවේදී අවශ්‍යය. මන්ද පවතින වසංගත තත්ත්වය පිලිබඳ විශ්ලේෂනය කිරීමේ හැකියාව ඇත්තේ ඔවුන්ට බැවිනි. ඒ නිසා මේ කටයුත්ත වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට පමණක් තනිව කළ නොහැකි අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෙසු අංශ වල සහායද අනිවාර්යෙන්ම ඔහුට ලැබිය යුතුය. එවිට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස පොදු හඩක් සමාජගත කළ හැකිය.

මෙහි කණගාටුවට කරුණ වන්නේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කිරීමෙන් දින දෙකකට පසු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට දැනුම් දී ඇත්තේ කොවිඩ් 19 පාලනයට අදාලව දිනපතා පැවත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡා මින් ඉදිරියට එම ස්ථානයේ නොපවත්තන ලෙසය. ඊට අදාල මාධ්‍ය හමු කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් දන්වා තිබේ.

ඒ අනුව ඊයේ (14) දින සිට කොවිඩ් 19 පාලනයට අදාල ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගිලිහී ගොස් ඇත.

මින් ඉදිරියට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර නියෝජනය කළ යුතු වන්නේ යුද හමුදාපතිවරයා සහභාගි වන කොවිඩ් 19 පාලනය කිරීමේ මාධ්‍ය හමුවටය. එහිදී මාධ්‍යවේදීන් සහභාගි වීමක් නොවන අතර අදාල මාධ්‍ය හමුව වීඩියෝ කර මාධ්‍ය ආයතන වලට මුදා හැරීම පමණක් සිදු කරයි. ඒ නිසා  මාධ්‍යවේදීන්ට කොවිඩ් සම්බන්ධයෙන් පැන නඟින ගැටළු විමසීමේ අවස්ථාව මින් ඉදිරියට අහිමිව යන්නේය. මෙහිදී ඇතැම් විට වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට මාධ්‍ය වෙනුවෙන් කථා කිරීමට විනාඩි කිහිපයක් ලැබුණද එය කරුණු දැක්වීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොවනු ඇත.

එමෙන්ම වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක ධුරය ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේම ඇතැම් වෛද්‍යවරුන් නොසතුටට පත් වී සිටින බව වාර්තා වේ. ඒ නිසා අදාල තොරතුරු මොහුට ලබා දීමෙන් වැලකී සිටින බවත් දැනගන්නට ඇත.

වෛද්‍ය ජයරුවන් පත් වී දින දෙකයි, කොවිඩ් 19 මාධ්‍ය හමු වලට තහනමක්!

-ශානිකා-

Social Sharing
නවතම