කුරුණෑගල රෝහලේ හෙට දවස කොයිබටද?

කුරුණෑගල රෝහල කියූ පමණින් රට්ටුන්ට මතකයට එන්නේ වඳ සැත්කම්ය. ඒ එහි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු වු ෂාෆි සියාබ්දීන් විසින් සිංහල කාන්තාවන් වඳ සැත්කම් වලට ලක් කළා යැයි පහුගිය වසරේ ඇති වු ආන්දෝලාත්මක සිද්ධිය නිසාය. මුලු රටම කණපිට පෙරලන්නට සමත් වු ඒ ප්‍රවෘත්තිය මැවුනේ ඉකුත් වසරේ මැයි මාසයේදීය.

එම චෝදනාවට වසරක් ගෙවුණද තවමත් වඳ සැත්කම් කථාව, ඒ භීතිය කුරුණෑගල රෝහලේ හොල්මන් කරමින් ඇත්තේය. එදා පැවති ඒකාධිකාරීත්වය, ජාතිවාදය තවමත් රෝහල පුරා රැක ගන්නට උත්සහ දරන පිරිසක් සිටින්නේය. එය තහවුරු කරන ඊට ආසන්නතම සිදුවීම වාර්තා වුයේ ඊයේ (08) දිනය.

ඒ කුරුණෑගල රෝහලේ වැඩ බලන රෝහල් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එන්. ෆරීඩ් ඉල්ලා අස් වීමය.

වඳ සැත්කම් කථාවේ ප්‍රධාන චරිතයක් වු එවකට කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකව සිටි වෛද්‍ය සරත් වීර බණ්ඩාර වසර කිහිපයක් පුරා එම තනතුර හෙබවු අයෙකි. ජාතික නිදහස් පෙරමුණේ සක්‍රීය චරිතයක් වු සිය දේශපාලනය රෝහල තුලද ප්‍රසිද්ධියේ සිදු කළ බව රෝහල් කාර්ය මණ්ඩලය හොඳාකාරවම දැන සිටියහ. නමුත් ඒ සඳහා කිසිවෙකු එරෙහි වුයේ නැත. ඒ ඔහු සමඟ පැටලී අනවශ්‍ය ගැටුමක් ඇති කර ගැනිමට අවශ්‍ය නොවු නිසාය.

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු එළැඹි මැයි මාසයේදී ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්තලය වු කුරුණෑගල රෝහලේ වඳ සැත්කම් කථාව නිසා කුරුණෑගල රෝහල අතිශය ජනප්‍රියතාවයට පත් විය.

එහිදි වෛද්‍ය ෂාෆි සියාබ්දීන්ට එරෙහි ඇති වූ කැරැල්ලේ ප්‍රධාන චරිතයක් වු වෛද්‍ය සරත්වීර බණ්ඩාර එවකට පෙනී සිටියේ සිය දේශපාලනයද පෙරටු කර ගනිමිනි. තර්ක විතර්ක මැද වෛද්‍ය ෂාෆිගේ සිද්ධියේ උණුසුම කෙමෙන් කෙමෙන් වියැකි යද්දී වෛද්‍ය සරත්වීර බණ්ඩාරට එක්වරම අනපේක්ෂිත දෙයකට මුහුණ දීමට සිදු විය. ඒ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උදහසට ලක් වීමය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පහුගිය දිනවල චෝදනා කර සිටියේ මොහු අකාර්යක්ෂමව රෝහල් පරිපාලනය ගෙන යන බවය. ඒ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ඉල්ලා සිටිම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරිමට සිදු විය. විමර්ශනය ආරම්භ කිරිමත් සමඟ ඔහුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත කෙරුණි. නමුත් සරත්වීර බණ්ඩාර සිය රාජධානිය වු කුරුණෑගල රෝහල හැර දමා යාමට කැමති වුයේ නැත. ඔහු බලෙන්ම රෝහලට පැමිණියේය. මෙහිදී රෝහල සුරැකීමේ කමිටුව විසින් ඔහුගේ පැමිණීමට විරෝධය පා ඔහුගේ රාජකාරි කාර්යාලයට ඉබි යතුරු දමාද වැසීය. ඒ නිසා අවසානයේ ඔහු වහාම මේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලිපියක් ලිවීය. ඒ මැතිවරණ සමයේ ලබා දුන් ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමිනි. මැතිවරණ කොමිසමද වහාම ඔහුගේ ස්ථාන මාරුව අත්හිටුවන ලෙස දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දන්වා සිටි අතර යළිත් ඔහුව කුරුණෑගල රෝහලටම යැවුනි. නමුත් ඔහු එම රෝහලේ සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අරඹා ඇති විමර්ශනය කිරීමට බාධාවක් හෙයින් ඔහුව නැවත වරක් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට මාරු කර යැවුනේය. එහි සිටි වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එන්. ෆාරීඩ් මහතා මසක කාලයකට කුරුණෑගල රෝහලට අනියුක්ත කෙරුණි. ඒ පහුගිය 05 දාය. නමුත් ඔහුට එහි රාජකාරි කිරීමට රෝහලේම කොටසක් ඉඩ දුන්නේ නැත. ඒ ඔහු මුස්ලිම් වෛද්‍යවරයෙකු බැවිනි. ඔහුවත් වෛද්‍ය ෂාෆිවත් ඈදා ගනිමින් වෛද්‍ය එන්. ෆාරීඞ් මහතාට මඩ පිට මඩ ගැසුවේය. ජාතිවාදය ඇවිස්සුවේය. තවත් ගැටුමකට ඉඩ නොතබා  අවසානයේ ඔහු තීරණයක් ගත්තේය. ඒ එම තනතුරෙන් ඉල්ලා අස් වීමටය. ඔහු ඉල්ලා අස්වෙමින් ඒ සඳහා පත් කිරීමට වෛද්‍යවරියකගේ නමක්ද නිර්දේශ කරනු ලැබුවේය.

මේ අතර කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කරන ලද වෛද්‍ය සරත්වීර බණ්ඩාර ඉල්ලා පිරිසක් රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. ඔවුන් චෝදනා කර සිටියේ මෙම ස්ථාන මාරුව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බවත් මෙය විරුද්ධවාදීන්ගේ ක්‍රියාවක් බවත්ය.

කෙසේ නමුදු මේ සියලු සිදුවීම් වලින් එක දෙයක් තහවුරු වී ඇත. එනම් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක ධුරයෙන් වෛද්‍ය සරත් වීරබණ්ඩාර ඉවත් කිරීම අපහසු බවය. ඔහු මෙම රෝහල හැර දා යාමට කැමති නැත. ඒ නිසා ඔහුට හිතවත් පිරිස් රෝහලට අලුතෙන් එන අධ්‍යක්ෂකවරුන්ටද රාජකාරි කිරිමට ඉඩ දෙන්නේ නැත. සැබවින්ම මේ රෝහල තුල ජාතිවාදය වපුරමින් සිටින්නේ අදිසි දේශපාලන හස්තයක්ද?

-ශානිකා-

Social Sharing
නවතම