මුල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක්!

මහ බැංකුවේ නොවන, බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව සම්පුර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කර මුල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඊට හේතු වී ඇත්තේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සමාගම පිලිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශය.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් සිදු වුයේ යැයි කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා, අයථා ක්‍රියා, විමර්ශනය කිරීම, පරික්ෂා කිරීම හා වාර්තා කීරිම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020-01-09 වෙනි දින පත් කරන ලදි. එම කොමිෂන් සභාවේ සිය නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුලත් වාර්තාව 2020-10-06 දින ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

එම වාර්තාව මඟින් සමාගම් නීතිය, මුල්‍ය සමාගම් පිලිබඳ නීතිය, මුදල් විශුද්ධිකරණ පනත, මුල්‍ය තොරතුරු වාර්තා කීරිමේ පනත, ඉඩම් විදේශිකයින්ට පැවරීමේ නීතිමය රාමුව මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි රාශියක් සිදුව ඇති බවට පෙන්වා දී ඇත.

එසේම මුල්‍ය සමාගම් අධීක්ෂණය සහ නියාමනය සඳහා වන ශ්‍රි ලංකා මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන, අධීක්ෂණ දෙපාර්තමේන්තුව මුලුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දී ඇත.

ඒ අනුව ඉහත කී ආයතනයේ සිදුව ඇති මුල්‍ය හා දේපළමය ගණුදෙනු  අක්‍රමිකතා සම්බන්ධයෙන් කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නිර්දේශ පියවර ගැනීමට නීතිපතිවරයාට යොමු කිරීමට මෙන්ම අධිකරණ අමාත්‍යවරයා විසින් ඒ කොමිෂන් සභා වාර්තා හා ගනු ලබන පියවරයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය අනුමැතිය හිමිව ඇත.

-ශානිකා-

Social Sharing
නවතම