“පූගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන්ගේ බඩට තුන්පාරක් කකුලෙන් ගැහුවා” – මිය‌ ගිය ගයාන්ගේ ඥාතීන් කියයි.

මුදල් සොරකම් සම්බන්ධයෙන් පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු තරුණයෙකු පොලිස් සිර මැදිරිය තුලදි අසනීප වීම හේතුවෙන් රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ‌ගොස් තිබුණේ පෙරේදා (12) දිනය.

පූගොඩ, මණ්ඩාවල කන්ද පදිංචි වීසි එක් හැවිරිදි ගයාන් පුෂ්පකුමාර නම් තරුණයෙකු මෙලෙස මිය ගොස් තිබුණි. බිම්මල් වගාකරන්නෙකු වූ ඔහු ඊට අමතරව කුලීවැඩ වල නිරත වු පුද්ගලයෙකි. එමෙන්ම මොහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි අයෙකු බව පැවසේ.

මණ්ඩාවල ප්‍රදේශයේ එක්තරා පුද්ගලයෙකු විසින් දිනපතාම මත්ද්‍රව්‍ය වලට පුරුදු වූ අයට  උදෑසන මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් ලබා දී ඉන්පසු එම පුද්ගලයා විසින් බාර ගනු ලබන කුලීවැඩ සඳහා ඒම  පුද්ගලයින් යොදවනු ලබයි. මෙම ගයාන්ද මොහු අසල එලෙස වැඩ කරන්නෙකු වු අතර පහුගිය 11 දා පැවරී ඇත්තේ අසල්වැසි නිවසක සිමෙන්ති ගල් බෑමටය. ගයාන් හා තවත් පුද්ගලයෙකු එලෙස එම නිවසේ වැඩ කරමින් සිටියදි එම නිවසේ යතුරුපැදියක බෑගයක් තුල තිබු මුදලක් නැති වී ඇත. ඒ බව නිවසේ හිමිකරු විසින් නිවසේ වැඩට සේවකයින් ගෙන ආ පුද්ගලයාට දන්වා තිබේ.

ඒ අනුව ඔහු ගයාන් ගැන සැක සිතා ඔහුව රැගෙන ගොස් පහර දී මුදල් ගැන විමසා ඇත. පසුව ඔහු විසින්ම නිවසට ගයාන්ව රැගෙන ආ අවස්ථාවේ පූගොඩ පොලිසියද ගයාන් සොයා නිවසට පැමිණ ඇත්තේ මුදල් සොරකම් කළ බවට වැඩ කළ නිවසේ පුද්ගලයින් කළ පැමිණිල්ල මතය.

එහිදී පූගොඩ පොලිසීයේ ස්ථානාධිපතිවරයා ගයාන්ගේ උදරයට පා පහරවල් තුනක් ගැසු බවත් එහිදී ගයාන් සිව්වරක් වමනය දැමු බවත් ගයාන්ගේ බිරිඳ හා අම්මා පවසයි.

ඒ සෑම අවස්ථාවකම ගයාන් පවසා ඇත්තේ තමන් මුදල් සොරකම් නොකළ බවය. පසුව 11 දා ඔහුව පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසියට ගිය  ගයාන්ගේ ඥාතීන්ට පොලිස් සිර මැදිරිය තුල සිටි ගයාන්ව බැලීමට ඉඩනොදුන් බවත් ඔවුන් කියා සිටියි. මේ අතර ඔහුව අසනීප වීම නිසා රාගම රෝහලට ගෙන ගොස් තිබු අතර  මුදල් නැති වු නිවසේ මුදල් හමු වී තිබේ.

මේ නිසා ගයාන්ට පහර දීම සම්බන්ධයෙන් ගයාන්ට වැඩ ලබා දුන් පුද්ගලයාට හා පූගොඩ පොලිසියට එරෙහිව පැමිණිලි කිරීමට ගයාන්ගේ බිරිඳ පුගොඩ පොලිසියට (12) ගොස් ඇතත් එහිදී පැමිණිල්ල භාර ගෙන නැත.  පොලිස් ස්ථානාධිපතිවරයා කියා ඇත්තේ මෙය ගොඩින් බේරා ගමු යනුවෙන් බවත් ඒ නිසා මේ සම්බන්ධව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලි කිරීමටත් ගයාන්ගේ ඥාතීන් පියවර ගෙන ඇත.

ගයාන් මියගොස් ඇති බව දැනගනු ලැබුයේ ඉන් අනතුරුව බවද ගයාන්ගේ ඥාතීන් වැඩිදුරටත් කියා සිටියි.

කෙසේ නමුදු මේ සම්බන්ධව වහාම විමර්ශනයක් කිරීමට පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පත් කිරිමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් පියවරගෙන තිබුණි. පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිස බලය අනිසි ලෙස භාවිතා කර ඇති බව මෙහිදී ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

-ශානිකා-

Social Sharing
නවතම