වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක පට්ටමකින් නිහඩ කලාද?

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එහි අධ්‍යක්ෂකධූරයෙන් ඉවත් කිරීම මහත් ආන්දෝලනයට ලක් වූ පුවතක් විය. එහි ඇති විශේෂත්වය නම් එකී ආන්දෝලනාත්මක තත්වය වැඩි වශයෙන් ඇති වූයේ ආණ්ඩුවේ හිතවතුන් හා ආණ්ඩුව බලයට ගෙන ඒමට වෙහෙස වූවන් අතර වීමය. විශේෂයෙන් මේ දිනවල අණ්ඩුවේ ක්‍රියාමාර්ග තුළින් වඩාත් කලබලයට පත් වන්නේ ආණ්ඩුවේ හිතවතුන්ය.

අභයාරාමයෙන් ප්‍රහාර

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වෛද්‍ය ජයරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ප්‍රසිද්ධියේය. උන්වහන්සේ මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍ය ජයරුවන් ට කල දේ කැත වැඩක් බව ප්‍රසිද්ධීයේ කීහ. වත්මන් ආණ්ඩුව බලයට පත් කරන්නට අපමණ වෙහෙසක් දැරූ ආනන්ද හිමියන් මෙලෙස ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරන්නේ දැන් කලක සිටය. මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වී සිටියදී ඔහුට පුවත් පත් සාකච්ඡාවක් සිදු කිරීමට හෝ වෙනත් දේශපාලන ක්‍රියාකාරකමක් සිදු කිරීමට නොහැකිව අසරණව සිටියදී පිහිට වූයේ ආනන්ද හිමිය. අභයාරාමය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන පිටිය විය. දැන් මේ ප්‍රහාර එල්ල වන්නේ එ දෙශපාලන පිටියෙනි. අභයාරාමය ඇත්තවශයෙන්ම දේශපාලන පිටියකි. 1987 තහනම් මැයි දිනය පැවැත්වූයේත් අභයාරාමයේය. ආණ්ඩුව පරිස්සම් විය යුත්තේත් ඒ නිසාය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය ඇමතිතුමියගෙන් මේ ගැන විමසා ඇත. ඇය කිසිවක් නොදනී. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා ඇත. ඒ මහතාත් කවුරු කළාද කියා නොදනී. ආනන්ද හිමියන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේ එලෙසිනි. ආනන්ද හිමියන් මේවා නොඅසන එක් දේශපාලන ප්‍රභලයෙක් ඇත. ඒ ජනාධීපති ගෝඨාභය රාජපක්ෂය. ආනන්ද හිමියන් සියළු දේශපාලන අධීකාරියෙන් මේ ගැන විමසද්දී මේ සම්බන්ධ‍ෙන් සෘජුව ක්‍රියාත්මක විය හැකි ජනාධීපති රාජපක්ෂ‍ෙන් නොවිමසන්නේ ඇයි?

ජනාධිපතිතුමා හා එතුමාගේ සෞඛ්‍ය ලේකම්

ජනාධීපතිතුමාගෙන් ආනන්ද හිමියන්ට මේ ගැන විමසීමටවත් නොහැකි මට්ටමට අභයාරාමය හා ජනාධිපතිතුමා අතර සම්බන්ධතාවය දෙදරා ඇතිද? සෞඛ්‍ය ලේකම් සිදු කරන දේ සෞඛ්‍ය ඇමතිතුමිය නොදන්නවා යැයි කීවේ බොරුවට නොවේ. සෞඛ්‍ය අමාත්‍යංශයෙ ලේකම් යුද හමුදා නිලධාරියෙකි. එතුමා වග කියන්නේ ජනාධිපතිට බවත් ජනාධිපති තුමාගේ සෘජු සම්බන්ධය උඩ එතුමාට සෞඛ්‍ය ලේකම් ධූරය ලැබෙන බවත් දේශපාලනය දන්නා ඕනෑම කෙනෙකු දනී. පසුගිය කෙරොනා අවස්ථාවේ ලකුණු දමා ගත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා දැන් වෙනත් අමාත්‍යංශයක ලේකම් කෙනෙකි. සෞඛ්‍ය ලේකම්ධූරය ලැබුණේ වැඩ කරුවකු වූ අනිල් ජාසිංහට නෙව ජනාධීපතිතුමාගේ මිලිටරි හිතවතාටය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බරපතළ චෝදනාවක් කරන්නේ ඒ මිලිටරි ලේකම්ගෙ ජනාධීපතිතුමාගේ හිතවතාගේ අමාත්‍යංශයටය. මෙය දැන් සෞඛ්‍ය නොව සවුත්තු දෙපාර්තමේන්තුවක් බවට පත් වී ඇති බව උන්වහන්සෙ කියයි. මේ වන තෙක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු හෝ පත් කර නොමැති බවත් වැඩ බලන නිලධාරීන් ලෙස අඩු සුදුස්සන් පත් කර ඇති බවත් උන්වහන්‍සෙ පෙන්වා දෙයි. විනයගත වැඩකරන හමුදා නිලධාරියකුගෙන් අප බලාපොරොත්තු වූයේ මෙයද?

වෛද්‍ය ජයරුවන්ගේ සිද්ධිය පාලනය කරන අපූරු ක්‍රමය

වෛද්‍ය ජයරුවන් වෛද්‍ය පර්යේෂණ ආයතනයෙ සභාපතිව සිටියදී පෞද්ගලික මාධ්‍ය ආයතනයකට පැවසුවේ මෙම කොවිඩ් 19 වෛරසය අපේ සමාජයේ පසුගිය ජනවාරියේ සිටම පැවැති බවයි. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තනතුරින් පහළට හෙළීමට හේතු වුනු කරුණ මෙය බව බොහෝ වෙබ් අඩවි හා සමාජ ජාලා වාර්තා කර තිබුණි. ආනන්ද හිමිට අනුව වෛද්‍ය ජයරුවන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ‍ගෙන ඒමට වෙහෙස වී කටයුතු කල අයෙකි. රට කින ජන හඩ සංවිධානයේ ක්‍රියාකාරිකයෙකි. වෛද්‍ය බණ්ඩාර සෞඛ්‍ය පරිපාලන සේවයේ එනම් රජයේ විධායක නිලධාරියකු ලෙස හිඳිමින් දේශපාලනය කිරීම පිළිබඳ වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

කෙසේ වෙතත් තමන්ගේ පාලනයට පිටින් වැඩ කරන රජයේ නිලධාරීන් හැකි ඉක්මනින් නිහඩ කිරීම හා අක්‍රීය කිරීම රාජපක්ෂ ක්‍රමය බව පසුගිය රාජපක්ෂ පාලනය දෙස බැලූ ඕනෑම අයකුට පෙනේ. නැවතත් මේ අරඹන්නේ ඒ ක්‍රමයම බව අමුතුවෙන් කිව යුතු නැත. වෛද්‍ය බණ්ඩාර තමන්ගෙ පැත්තට වැඩ කලත් ඕනෑවට වඩා දගලන්න දිය යුතු නැත. යහපාලන ආණ්ඩුව සිදු කල වැරැද්ද කිසිලෙසකින් රාජපක්ෂ පාලනය සිදු නොකරයි. ඒ අනුව ඔහුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයට පහත හෙළන ලදී.

නමුත් මේ විරෝධය හැකි ඉක්මනින් පාලනය කර ගත යුතුය. ‍ෛද්‍ය ජයරුවන් බණ්ඩාරද වීරයෙක් මෙන් මම මේ තනතුර ආපසු භාර නොගන්නා බවත්, මම නීතියට වැඩ කල බවත් පවසමින් හඩ අවදි කරමින් සිටියේය. වහා ක්‍රියාත්මක වූ ආණ්ඩුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයාව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක කර ඇත. වීරයා දවස් දෙකෙන් සිය දිවි නසා ගන්නා ලදී. රාජපක්ෂ පාලනයේ වීරයන් වන්නේ රාජපක්ෂලා මිස ආනන්ද හිමිලා වත් වෛද්‍ය බණ්ඩාරලාවත් නොවේ. රාජපක්ෂලා වීරයන් හැදෙනවාට බිය වෙයි. ඔවුන්ට වීරයන් අවශ්‍ය වන්නෙ විපක්ෂයෙ සිටියදී පමණි.

හරිම අපූරු සිදු වීම නම් වෛද්‍ය බණ්ඩාරට ලබා දී ඇත්තේ මීට පෙර නොතිබූ තනතුරකි. සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයාට තමන්ගේ මතය ප්‍රකාශ කල නොහැක. දැන් වෛද්‍ය බණ්ඩාරට සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් සිය අපූරු හඩ මාධූර්යයෙන් වොයිස් කට් දිය හැක.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙ එක් ප්‍රකාශයකින් මේ සටහන අවසන් කල හැක. දැන් මේ වන විට රජයේ නිලධාරීන් සිටින්නේ සිය තනතුර කොයි මොහොතේ අහිමි වන්නේදැයි යන බියෙනි. රාජපක්ෂ ක්‍රමයට අවශ්‍ය ඒ බිය ඇති කිරීමයි.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක පට්ටමකින් නිහඩ කලාද?

-දුලාන් දසනායක-

Social Sharing
නවතම විශේෂාංග