රියාද් ගැන විමර්ශන කර ඇත්තේ දැනුමක් නැති CID නිලධාරියෙක්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පවසමින් පහුගිය අප්‍රේල් මාසයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරිම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුල ඇත්තේ මහත් ආන්දෝලනයකි.

තමන්ට නොදන්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි ඔහුව නිදහස් කළේ කෙසේද යන්න  සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා  ඊයේ (12) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුලු එහි උසස් නිලධාරීන්ව නීතිපතිවරයා හමුවට කැඳවා තිබුණේ ඒවන් පසුබිමක් තුලය.

රියාද් බදීයුදීන් යන අයට අදාලව මුදල් විශුද්ධිකරණ වරද සම්බන්ධයෙන් විමර්ශනය නොකිරීම, එනම් ඊට අදාල ඔහුගේ වත්කම් බැරකම්, වාහන ඇතුලු අනෙක් දේපල, බැංකු ගිණුම් හා බැංකු කටයුතු සහ ව්‍යපාර කටයුතු පිලිබඳ විමර්ශනය නොකීරීමයි.

එසේම මුදල් විශුද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට ඒ සම්බන්ධ කිසිදු දැනුමක්, පළපුරුද්දක් හා වැටහීමක් නොමැති පොලිස් නිලධාරියෙකු පත් කිරීම, ත්‍රස්තවාදී කටයුතු වලට මුදල් යෙදවීම සම්බන්ධයෙන් විමර්ශනය නොකිරීම, රියාද් බදීයුදීන් මහතා භාවිතා කරන ලද ජංගම දුරකථන 16 කින් 12 ක් සොයා ගැනීමට අපොසත්  වීම යන කරුණු ඊයේ දින නීතිපතිවරයා ඉදිරියේ අනාවරණය වී ඇත.

එහිදී නීතිපතිවරයා පෙන්වා දී තිබෙන්නේ අසම්පුර්ණ විමර්ශන හමුවේ සැකකරු නිදහස් කිරීම යුක්ති සහගත නොවන බවය. ඒමෙන්ම ඔහු පිලිබඳව වැඩිදුර විමර්ශන සිදුකළ යුතු බවද නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත. ඒ අනුව එම විමර්ශන කටයුතු මාසයක් ඇතුළත අවසන් කළ යුතුය.

පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු බෝම්බකරුවන් සමග සබඳතා පැවැත්වීම ඇතුළු බරපතල චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් තිස්සේ ප්‍රශ්න කෙරිණි. කෙසේ වෙතත් ඔහු පසුගියදා නිදහස් කර තිබුණේ අදාල චෝදනා තහවුරු කර ගැනීමට තරම් සාක්ෂි නොමැති බව පවසමිනි.

ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් සමාජයේ කතා බහක් නිර්මාණය වූ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිය දෙනෙකුගෙන් යුත් අත්සන් ලේඛණයක්ද පහුගියදා ජනාධිපති හා අගමැතිවරයා වෙත භාර දුන්නේ රියාජ් බදියුදීන් නැවත අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව පරීක්ෂණ සිදු කරන ලෙසටය.

ඔහුගේ මෙම නිදහස් කිරිම නිසා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි  බස්නාහිර උතුර වැඩ බලන පොලිස්පතිවරයා ලෙස මාරු කර යැවුණි. ඉන් අනතුරුව ඔහුව ගාල්ල දිසාවටද ස්ථාන මාරු කර යැවුණේ මෙම සිද්ධිය පදනම් කරගෙනය.

ඒමෙන්ම 2019 වසරේ අගභාගයේ සිට පොලිස් මාධ්‍ය ප්‍රකාශ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාවද වහාම ක්‍රියාත්මක වන පරිදි විනය හේතූන් මත උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස මාරු කර යවන ලදී. ඔහුගේ ස්ථාන මාරුවට පාදක වුයේ රියාද් බදීයුදීන් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයකි.

මේ අතර රියාද් බදීයුදීන් මහතාද ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත. ඒ තමන්ව නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

ඔහු කියා සිටින්නේ ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් විසින් පදනම් විරහිතව ඔහුව  ත්‍රස්තවාදියෙකු ලෙස ප්‍රකාශ  කිරීම සහ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව නැවත අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් සිටීන බවය. නමුත් නීතිවිරෝධී ක්‍රියාවකට ඔහු සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා රහස් පොලිසිය විසින් දැඩි ලෙස විමර්ශනය කර ඇති අතර එම ප්‍රකාශ කිසිදු පදනමක් නොමැති ඒවා බව සොයාගෙන ඇති බවද ඔහු පවසයි.

මේ අවස්ථාවේ යළි ජාතිවාදී ගැටුම් සහ දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන රජයේ සහ විපක්ෂයේ ඇතැම් පාර්ශ්වයන් විසින් කරනු ලබන මෙවැනි අසත්‍ය චෝදනා ජනාධිපතිවරයා පිළිනොගනු ඇතැයි ඔහු විශ්වාස කරන බවද කියයි.

ඔහුගේ ඒම ලිපිය අනුව පසුගිය 2020 අප්‍රේල් 14 වන දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් පුත්තලම ප්‍රදේශයේ පිහිටි  නිවසේදී ඔහුව  අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන්ෂාෆ් අහමඩ් සමඟ දුරකථන සංවාදවල යෙදී ඇති බවට වූ චෝදනාව මත බවත් ඉන් පසුව මාස පහහමාරකට ආසන්න කාලයක් මා එහි රඳවාගෙන සිටි අතර එහිදී රහස් පොලිසිය විසින් දැඩි විමර්ශනයක් කර ඇත.

එම විමර්ශන වලදී කොළඹ පිහිටි නිවස, පුත්තලම ප්‍රදේශයේ පිහිටි බිරිඳගේ දෙමව්පියන්ට අයත් නිවස, තවත් ප්‍රදේශ කිහිපයක  මිතුරන්ගේ නිවාස සහ මන්නාරමේ සිටින ඥාතීන්ගේ නිවාස සොයා බැලු බවත්  ඔවුන් තමන්ගේ බැංකු ගිණුම් සහ ව්‍යාපාර ගනුදෙනු ද දැඩි පරීක්ෂාවට ලක් කර තිබුණු බවද සඳහන් කර ඇත.

එමෙන්ම තමන්ගේ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකය රහස් පොලිසිය භාරයට ගෙන හොඳින් පරීක්ෂා කර බැලු අතර පෞද්ගලික හා ව්‍යාපාරික යන දෙඅංශයේම සියලුම දුරකථන සංවාදයන් ද තරයේ විමර්ශනය කර කිසිදු ත්‍රස්ත ක්‍රියාකාරකමක් සමඟ  සම්බන්ධ බවට කිසිදු තොරතුරක් හෝ සාක්‍ෂියක් නොමැති බවට රහස් පොලිසිය විසින් නිගමනය කර තිබිණු බවද ඔහු ලිපියේ සඳහන් කර ඇත.

එකල, ඉන්ෂාෆ් අහමඩ් සමඟ තමන් සම්බන්ධතා පවත්වා තිබුණේ ඔහුගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් එම අවස්ථාවේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ කොළඹ වෙළෙඳ සංගමයේ සභාපතිවරයා වූ බැවින් බවත් එසේම ඉන්ෂාෆ් අහමඩ් යන අයව  දැන හඳුනා ගැනීමට ස්වාභාවික කරුණ වුයේ ඔහු මන්නාරමේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන එස්.කේ.පී. අලව්දීන්ගේ දියණියක සමඟ ඔහු විවාහ වී සිටි නිසා බවද  තමන්ගේ  නිර්දෝෂීභාවය පිළිබඳව සෑහීමකට පත්වීමෙන් පසුව, රහස් පොලිසිය විසින් 2019.09.29 දින අත්අඩංගුවෙන් නිදහස් කළ බවද කියා සිටියි.

මහේස්ත්‍රාත්වරයා හමුවේ  ඉදිරිපත් නොකොට රහස් පොලිසිය තමන්ව  අත්අඩංගුවෙන් නිදහස් කළ බවට ඇතුම් පාර්ශව චෝදනා කළද එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව කියා සිටින අතර  මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් රඳවා තබා ගැනීමට හෝ වරෙන්තු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවට තහවුරු වූ පසු රහස් පොලිසියට තමන් නිදහස් කළ හැකි බවත්  ඒ අනුව මහේස්ත්‍රාත්වරයාගේ එම තීන්දුවේ පිටපතක් ද මේ ලිපි සමඟ ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත්, දේශපාලන හා ජාතිවාදී ගැටුම් ඇති කරන ඇතැම් පුද්ගලයින්, තමන් සම්බන්ධයෙන් රහස් පොලිසිය කටයුතු කළ ආකාරය සැක සහිත බව හැඟවීමටත්, කිසිදු පදනමක් නොමැතිව  ත්‍රස්තවාදියෙකු ලෙස හඳුන්වමින් තමන්  හට නින්දා කිරීමටත් උත්සාහ කරන බවද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම තමන්ට මෙන් සමාන චෝදනාවක් මත එකම දිනයක අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත් දෙනාගෙන් සිව්දෙනෙකු තමන් නිදහස් කිරීමට පෙර නිදහස් කර ඇති බව මෙහිදි ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත.

ශානිකා

Social Sharing
නවතම විශේෂාංග